Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2023 19:50:23 Hours

61 පාබල සේනාංකය පාසල් සිසුවෙකුගේ උසස් අධ්‍යපන කටයුතු සඳහා දායකත්වය දක්වයි

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන අහුංගල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක දරුවකු 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188 ක විශිෂ්ඨ ජයක් ලබා උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට යාමට අවස්ථාව උදාවිය. එම සිසුවාගේ පවුලේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එම පාසල වෙත යාමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සලසා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.

දරුවාගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් ඔහුගේ දෙමාපියන් මේ පිළිබඳ 61 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි දැනුවත් කරනු ලැබීය.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී විසින් ලබාදුන් මාර්ගෝපදේශයන්ට අනුව, එම සේනාංක මූලස්ථානය සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සහ ‘අත හිත පදනමේ’ ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා වෙත මෙම කරුණ පිළිබඳ දැනුවත් කරනු ලැබීය.

දරුවාගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගැනීම වෙනුවෙන් ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා රු. 30,000.00 මුදලක් ලබාදෙන ලදී. මෙම මානුෂීය අවශ්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වූ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් දරුවාගේ උසස් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා පෞද්ගලිකව මූල්‍යමය ආධාර ලබාදීමට ද එම දරුවාගේ දෙමාපියන්ට සහතික විය.

සිසුවාගේ අධ්‍යාපනයට ඇති හැකියාව සහ ඔහුගේ ඉදිරි අනාගත ප්‍රගතිය හදුනාගත් 61 පාබල සේනාංක මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් දානපතියන් කිහිපදෙනෙකු එක්ව 6 ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් වන තෙක් ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කර ඇත.