Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2023 14:10:09 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකළ 769 වන නිවස කඩ්ඩයිකාඩු ප්‍රදේශයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් පරිත්‍යාග කරයි

යාපනය අර්ධද්වීපයේ දිවිගෙවන සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ සහ සිවිල් හමුදා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබු නව නිවාස ඉදිකිරිමේ ව්‍යාපෘතිය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකළ 769 වන නව නිවස යාපනය අර්ධද්වීපයේ කඩ්ඩයිකාඩු ප්‍රදේශයේ විවධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත ඉකුත් ඉරිදා (18) දින පැවැති උත්සවයකදී භාරදෙනු ලැබීය. යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉදිකරනු ලැබු නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂ සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය. එහිදි එතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කර නව නිවසේ යතුර නිවාසලාභියා වෙත භාර දෙනු ලැබීය. අංක ජේ/429, වත්තිරායන්, කඩ්ඩයිකාඩු ලිපිනයේ පදිංචි ජෙස්ලි ජයරාජ්, කූඩාදරුවන් සමඟ ස්ථිර ජීවනෝපායක් නොමැතිව තවත් පවුල් හතරක් සමග එක නිවසක ජීවත් විය.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ අධීක්‍ෂණය සහ සම්බන්ධීකරණය මත ලද මූල්‍යාධාර ප්‍රයෝජනයට ගනිමින් මෙම නව නිවස ඉදිකරන ලදී. යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද වියළි සලාක බෙදාදීමේ අවස්ථාවකට මෙම නිවාසලාභී කාන්තාව පැමිණ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හමුවී නිවසක් නොමැතිව දිවිගෙවන බව සැලකර තම පවුල වෙත නිවසක් ඉදිකර දීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙම නිවස ඉදිකරන ලදී. 553 පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් ජී.එස්.කේ පෙරේරා ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ 12 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය සහ තාක්ෂණික සහය ලබා දෙන ලදී.

නව නිවස විවෘත කිරීමේ උත්සවය අතරතුර, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය විසින් එම පවුල වෙත වියළි සලාක පාර්සල් සහ අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ ද ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට කිලිනොච්චි කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ගුණරත්න ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් එක්ව සිටියහ.