21st June 2023 20:00:59 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගැමුණු හේවා බලකායේ බලකාධිපති සහ 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟ අද (ජුනි මස 20) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සමඟ සිදුකළ සුහද අදහස් හුවමාරුව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී ගේ අනුපමේය සේවය සහ කැපවීමෙන් වගකීම් ඉටුකිරීම පිළිබඳව පැසසුමට ලක්කළේය. 2009 මැයි මාසයට පෙර පැවති පශ්චාත් යුද සමයේ පාබල හමුදා නිලධාරියෙකු ලෙස විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ කාර්යභාරය ද මෙහිදී යලි ආවර්ජනය කරනු ලැබීය.
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී මෙම අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. එමෙන්ම, ගැමුණූ හේවා බලකායේ බලකාධිපති වැනි ප්‍රධාන ධුරයන් හොබවන කාසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් තමන් වෙත ලබාදුන් මඟපෙන්වීම් වෙනුවෙන් ද එතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය. මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනය මත සපැමිණි විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී ගේ අනාගත සැලසුම් පිළිබඳව ද විමසා බැලීය. විශ‍්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරියාතුමන් මාතෘභූමිය ආරක්‍ෂා කිරීමේ ක්‍රියාන්විතයන්හි නිරතව සිටින සමයේදී එතුමන්ගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහු වෙත ලබාදුන් අමිල සහයෝගය ද යුද්ධ හමුදාපතිතුමන්ගේ පැසසුමට ලක්විය.
මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය. මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී වර්ෂ 1988 ඔක්තෝබර් මස 06 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බඳවාගනු ලැබීය. කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක - 32 බී යටතේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් යුද්ධ පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් පසු එතුමන් දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 දින ගැමුණු හේවා බලකායට අනුයුක්ත කරනු ලැබීය. ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 අගෝස්තු මස 02 දින එතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
විශ්‍රාම ලබන විට එතුමන් ගැමුණු හේවා බලකායේ බලකාධිපති සහ 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධුරයන් ද හොබවමින් සිටියේය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 1 සහ 8 ගැමුණු හේවා බලකායන්හි ඛණ්ඩ භාර නිලධාරි, 8 ගැමුණු හේවා බලකායේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (පුහුණු), ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරි, 6 ගැමුණු හේවා බලකායේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කණ්ඩායම් අණදෙන නිලධාරි, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 25 ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රතිත්‍රස්ථ කැලෑ බඳ පුහුණු සටන් පාඨමාලාවේ පුහුණු විම් අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා හමුදා විද්‍යා පීඨයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ, 533,563 සහ 112 පාබල බලසේනාවන්හි බලසේනාධිපති සහ විශ්ව විද්‍යාලය රෙක්ටර් - කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ මණ්ඩපාධිපති.
විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළ ඛණ්ඩභාර නිලධාරි උපක්‍රමික පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව සම්පත් පිළිබඳ මූලික උපදේශක පුහුණු පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ පාබල බලඇණි අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - රුසියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත. මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී ගේ වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (ගෞරව), (ආරක්‍ෂක අධ්‍යයනය) උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලන උපාධිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීමේ ආයතනයේ ගෝලීය සබඳතා පිළිබඳ ඩිප්ලෝමාව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම පිළිබඳව උසස් අධ්‍යාපන සහතික පත්‍ර පාඨමාලාව, චීනයේ පැවති The Advanced Training Programme for Talents from Maritime Silk Road Countries at Huaqiao University in Xiamen පුහුණු වැඩසටහන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු පද්ධති සහ යෙදවීම් පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ MPhil/PhD උපාධිය ලබා ඇත.