19th June 2023 19:00:43 Hours
වර්ෂ 2009 මැයි මාසයේ එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් වීමත් සමඟ සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂක විධිවිධාන ක්‍රමානුකූලව සිදුකරමින් පවතී. ඊට අමතරව, යුද්ධ හමුදාවේ ප්‍රජා මූලික ව්‍යාපෘතීන් කෙරෙහි ද දැඩි උනන්දුවක් දක්වමින් යුද්ධය හේතුවෙන් අවතැන් වූ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නන් අයුරින් උපකාර කිරීමට සහ සහන සැලසීමේ කටයුතු සිදුකරගෙන යනු ලබයි.
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්ගේ උපදෙස් සහ වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස්හි කැපවීමෙන් එම අර්ධද්වීපයේ වැසියන් අතර ජනවාර්ගික සහජීවනය සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව නිවාස අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබීය.
පැය විසිහතර පුරාවටම එම සිවිල් වැසියන්ට අවැසි ආරක්‍ෂාව සපයන අතර, ප්‍රදේශවාසීන් සතුව පවතින විශේෂිත අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ඔවුන්ට උපකාර කිරීමට ද යුද්ධ හමුදා සාමාජිකයන් කටයුතු කරගෙන යනු ලබයි.
රටේ ප්‍රමුඛතම සහ විනයගරුක මානව සම්පත ලෙස සැලකෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් සිය අන්‍යෝන්‍ය සුහදත්වය ප්‍රකට කරමින් එම වැසියන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා ඔවුන්ගේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදෙනු ලබයි.
ජාතියක බැඳීම් සහ උතුර - දකුණ යා කෙරෙන ඉපැරණි මිත්‍ර සබඳතා පුනර්ජීවනය කරමින් යුද්ධ හමුදා භටපිරිස් නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරම එම ව්‍යාපෘතීන් වෙනුවෙන් දකුණු ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ සහ දානපතියන්ගේ අනුග්‍රාහකත්වය හා සහයෝගය ලබාගැනීමේ කටයුතු ද යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත සිදු කරනු ලබයි.
හිසට සෙවණක් නොමැතිව බොහෝ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතීන් වෙනුවෙන් යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත දකුණු ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්, ආගමික නායකයින් සහ සිංහ සමාජය ඔවුන්ගේ අමිල ත්‍යාගශීලීත්වය ලබාදෙයි.
රාජ්‍ය අංශයට පමණක් අභියෝග කර හැකි පරිදි වාර්ථාගත නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව සිදුකරමින් මෙම වසරේ අප්‍රේල් මස මුල් භාගය වනවිට, යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු භටපිරිස් සිය තාක්‍ෂණික ප්‍රවීණතාවය සහ ශ්‍රම දායකත්වය මත නව නිවාස 769 ක් ඉදිකර නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් පරිත්‍යාග කර ඇත.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ප්‍රමුඛ එම අර්ධද්වීපයේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් ගේ මඟපෙන්වීම මත මේ වනවිට තවත් එවැනි නව නිවාස හතරක් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් ඉඳිකරමින් පවතී.
මෙම නව නිවාස විවෘත කරන දිනයට එම නිවාසලාභී පවුල් වෙනුවෙන් අවැසි අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ, විදුලිය, ජලය, විද්‍යුත් උපකරණ ආදිය ලබාදීමට මෙන්ම එම නිවාස අවට පරිසරය හරිතකරණය කරමින් වටිනා පැළ වර්ග රෝපණය කිරීමට ද භටපිරිස් කටයුතු කරනු ලබයි. මෙම වැඩසටහනට අමතරව, අර්ධද්වීපයේ පුරන් වී ඇති කුඹුරු සහ හේන් වගාවන් සඳහා නොමිලේ ඉඩම් සකස්කර, ජල මාර්ග ඉදිකිරීම, බිත්තර වී නිෂ්පාදනය, ජලය සැපයීම යනාදී කටයුතු සඳහා ද යුද්ධ හමුදා භටපිරිස් හි තාක්‍ෂණික සහයෝගය අඛණ්ඩව ලබාදෙනු ලබයි.
ප්‍රචණ්ඩත්වයෙන් සහ අන්තවාදයෙන් තොරව දරිද්‍රතාවයෙන් පෙළෙන උතුරු ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් යහපත් හෙට දවසක් නිර්මාණය කිරීම යුද්ධ හමුදාවේ ඒකායන බලපොරොත්තුව වන අතර උතුරු ප්‍රදේශයේ ජනවාර්ගික සහජීවනය, සංහිඳියාව සහ සාමය ප්‍රවර්ධනය කිරීමට හැකි සෑම පියවරක්ම ගනිමින් ජනතාවගේ අභිවෘද්ධිය සඳහා නොමසුරුව සිය දායකත්වය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කරනු ලබයි.