16th June 2023 19:54:14 Hours
වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් කිරීමට කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය බ්‍රහස්පතින්දා (ජුනි 1) දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී සමත් වූ අතර එය ගිනස් ලෝක වාර්තා අතරටද එක්විය. කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙ කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදුකරනු ලැබීය. ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ දායකත්වය ලබාදෙන ලදී. මෙම වකුගඩු ආශ්‍රිත ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වේ.
ශල්‍යකර්මයෙන් පසු යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ ශල්‍යකර්මය සිදු කළ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ දී ඒ පිළිබදව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත දන්වනු ලැබීය. ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවේදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිග වේ. බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ.