Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2023 19:39:20 Hours

ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් යුද්ධ හමුදාවේ භටපිරිස් සහාය වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් සිය තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වය ලබාදෙමින් ජාතිය ගොඩනැගීමේ ඕනෑම කාර්යයක් සඳහා ඕනෑම මොහොතක සූදානමින් සිටිති. ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 12 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අද (ජුනි 16) දින මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉඳිකර දීමට කටයුතු ආරම්භ කරන ලදී.

එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහභාගී වූ අතර, එතුමන් සමගින් එම අවස්ථාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ අමන්ද වීරසිංහ (1981 කණ්ඩායම) සහ ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඒ.ජී.එස්.සී ලක්මාල් යන මහත්වරුන් ඇතුළු පිරිස මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ විද්‍යාලයීය දෙමහල් ගොඩනැගිල්ල ඉඳිකිරීමට සුභ මොහොතින් මුල්ගල් තැබීය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ (1981 කණ්ඩායම) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අමන්ද වීරසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් එම ආදි ශිෂ්‍ය සංගමය විසින් (81 කණ්ඩායම) මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන ස්වේච්ඡාවෙන්ම ලබාදීමට ඉදිරිපත් වී ඇත.

ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සේවා මේජර් ජෙනරල් කේ.එම්.එස් කුමාර ගේ මඟපෙන්වීම යටතේ 12 ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

සමාරම්භක උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) බ්‍රිගේඩියර් ඩී.සී.ඒ වික්‍රමසිංහ යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ද සහභාගී වූහ.

එම පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 192 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරි ගැන්වීමක් වශයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පාසල් ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. එම පාසල් උපකරණ සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම දානපතියෙකු සහ සමාජ සේවා ක්‍රියාකාරියෙකු වන ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් දැක්වීය.

එම පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතමින් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක කෙටි දේශනයක් සිදු කළ අතර, එහිදී ශීඝ්‍රයෙන් දියුණු වන තාක්‍ෂණික නවෝත්පාදන සහ ප්‍රතිසංස්කරණ හමුවේ 21 වැනි සියවසේ අභියෝග ජය ගැනීමට අධ්‍යාපනයේ ඇති වැදගත්කම අවධාරණය කළේය. උත්සවයේ වැඩකටයුතු අවසන් කරමින් විදුහල්පතිතුමන් විසින් පාසලේ මෙම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අනුග්‍රාහකත්වය දැක්වූ පාර්ශවයන්ට සහ යුද්ධ හමුදාවට සිය කෘතඥතාවය පළකරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ භටපිරිස් 613 බලසේනාවේ බලසේනාධිපත්තුමන්ගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.