15th June 2023 19:00:33 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ඉදිකරනු ලැබූ තවත් නව නිවාස දෙකක් පසුගිය ඉරිදා (ජුනි මස 11) දින 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස අවශ්‍යතා සහිත රණවිරුවන් දෙපළක් වෙත පවරාදෙනු ලැබීය. අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.එස්. කුමාර ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ නව නිවස මහියංගනය, ගඟේ යාය ප්‍රදේශයේ පදිංචි එම ඒකකයේ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් පවරාදෙනු ලැබීය. විවාහවී එක් පුතනුවෙකු සිටින මෙම කොමිෂන් නොලත් නිලධාරියා වෙනුවෙන් මෙම නව නිවස ඉදිකිරීම සඳහා 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.
මහියංගනය, වලස්ගල ප්‍රදේශයේ පදිංචිව විවාහ වී පුතුන් දෙදෙනකු සිටින 9 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ තවත් කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ තවත් නිවසක් එදිනම (11) නිවාසලාභියා වෙත පවරාදුන්හ. මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා 9 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් අයි.එම්.ජී.එන්. ජයතිලක ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදෙන ලදී. මෙම උත්සව අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූ අතර ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.පී.එස්.පී. කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ. මෙම උත්සව අවස්ථාවන්හිදී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නිවාසලාභීන් වෙත නව නිවස සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙන්ම එම නිවාස ඉදිකරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් වෙත විශේෂ ත්‍යාගයන් ද ප්‍රදානය කරන ලදී.