Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2023 21:20:27 Hours

විශ්‍රාම දිවියට එළඹෙන විනයාරක්‍ෂාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දී ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින පැවැත්විණි. කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

අනතුරුව එතුමන් සියලු භටපිරිස් අමතමින්, තම ධුර කාලය තුළ යුද්ධ හමුදාධිපතිතුමන්, සියලුම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීවරුන්, කර්නල් සේනාවිධායකවරුන් සහ පොලිස් හේවා බලකායේ සියලුම සාමාජිකයින් ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පුද කළ අතර, ධූරයේ රාජකාරි භාරගනු ලබන විනයාරක්‍ෂාධිපතිතුමන් සමඟින් ද සහයෝගයෙන් යුතුව හා යුද්ධ හමුදාවේ කීර්ති නාමය ආරක්‍ෂා වන ආකාරයෙන් රාජකාරි කරන ලෙස වැඩි දුරටත් පැවසීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ නිලධාරි නිවස්නයේ දී බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ සහ එතුමන්ගේ භාර්යාව වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී එම රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් විසින් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් යුද්ධ හමුදා දිවියේ ජයග්‍රහණ, වැදගත් සිදුවීම් කිහිපයක් සිහිපත් කරමින් සිය කෘතවේදීත්වය සහ ප්‍රශංසාව පිරිනමන ලදී.

උත්සව අවස්ථාව සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් ක්ලිෆර්ඩ් ද සොයිසා, එම බලකායේ මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති ලෙස ධූරයේ කටයුතු කළේය.