Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2023 21:40:27 Hours

ගැමුණු හේවා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

ගැමුණු හේවා බලකායේ 23 වන බලකාධිපති ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ පසුගිය සෙනසුරාදා (04) දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජානක විමලරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, එහිදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුද කෙරිණි. අනතුරුව නව බලකාධිපතිතුමන් මානූෂිය මෙහෙයුමේදී දිවිපිදු ගැමුණු හේවා බලකායේ වීරෝදාර රණවිරුවන් සිහිකිරීම පිණිස එම කඳවුරු පරිශ්‍රයේ ස්ථාපිත රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී. මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ එම අවස්ථාව සිහිවනු වස් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, ඉන් අනතුරුව සරඹ භූමියේදී ගැමුණු හේවා බලකා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුද කෙරිණි.

මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයකට සංකේතාත්මකව අත්සන් තබමින් නව රෙජිමේන්තු බලකාධිපති ලෙස රාජකාරි භාරගනු ලැබීය. අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් විසින් මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ වෙත එම රෙජිමේන්තුවේ පරිපාලන අංශ පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරන ලදී.