Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2023 21:23:08 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ නිල සංචාරයක

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ ප්‍රධාන සංඥා නිලධාරී ලෙස ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් සුගත් රත්නායක පසුගිය සිකුරාදා (24) දින මහනුවර, බූවැලිකඩ පිහිටි සංඥා පුහුණු පාසල වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.

සංඥා පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සුගත් රත්නායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම පාසලේ සේනාවිධායක කර්නල් ඩිලන්ත ප්‍රනාන්දු ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනමනු ලැබිණි. එම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් සුගත් රත්නායක කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය.

මේජර් ජෙනරල් සුගත් රත්නායක එම පාසලේ භටපිරිස් අමතමින්, යුද්ධ හමුදාවේ විවිධ ක්‍ෂේත්‍රයන්හි පුහුණුවීම් ලබා ගැනීමේ වැදගත්කම, සෙබළුන්ගේ පුද්ගලික විනය සහ එමගින් ඔවුන්ගේ පුද්ගලික ජීවිතයට ඇති කරන බලපෑම පිළිබඳව අවධාරණය කළ අතර, වර්ථමානයේ සමාජ මාධ්‍ය නිවැරදිව භාවිත කිරීම, මූල්‍ය අර්බුදයෙන් මිදීම සඳහා ක්‍රමවත් ලෙස කටයුතු කිරීම ආදී කරුණු පිළිබඳව ද අවධාරණය කරමින් උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපතිතුමන්ගේ ප්‍රථම නිල සංචාරය සිහිවීම වස් සංඥා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව මේජර් ජෙනරල් සුගත් රත්නායක පුහුණු පාසල් පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් පාසලේ පුහුණුවීම් කටයුතු සහ භටපිරිස්වල යටිතල පහසුකම් සොයාබලා එහි ඉදිරි අභිවෘද්ධිය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර, සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එතුමන් සහභාගී විය. උත්සව අවස්ථාවට සංඥා පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කාර්යය මණ්ඩලය සහ දැනට පවත්වාගෙන යනු ලබන පාඨමාලාවන් නියෝජනය කරමින් ශිෂ්‍යයින් පිරිසක් ද සහභාගී වූහ.