Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2023 21:39:38 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර පාලන පරික්‍ෂණ කටයුතු පිළිබඳ සොයාබැලීමේ නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඉකුත් සිකුරාදා (24) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, පාලන පරික්‍ෂණ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව, එම මූලස්ථානයේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන් පාලන පරික්‍ෂණ කටයුතු ආරම්භ කල අතර, එහිදී මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් යුද්ධ හමුදාවේ පරිපාලන ගැටලුවලට අදාළ සියලු ගැටලු මඟහරවා ගැනීම සඳහා පාලන පරික්‍ෂණයක් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳවත් අදහස් දැක්වූ අතර, සේනාංක සහ බලසේනාවන් යුද්ධ හමුදාවේ නියමිත ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් එම කටයුතු සිදුකරන්නේද යන්න සොයා බැලිය යුතු බවත් ප්‍රකාශ කළේය. අධ්‍යක්‍ෂ මණ්ඩල සහ ශාඛාවන්හි අධ්‍යක්‍ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් ඔවුන්ගේ නිරීක්‍ෂණ ඉදිරිපත් කර එවැනි ගැටළු නිරාකරණය කිරීමට ගත හැකි විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.

වැඩසටහන අවසානයේදී එම අවස්ථාව සංකේතවත් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය. අනතුරුව එතුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් නික්ම යෑමට මත්තෙන් එම මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් ද තැබීය. පාලන පරික්‍ෂණ කටයුතු පිළිබඳ සොයාබැලීමේ සාකච්ඡාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ රාජකාරි කරනු ලබන සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, එම මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූහ.