Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2023 20:20:57 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ 33 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභිමානවත් 33 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2023 මාර්තු මස 22 දින බෝයගනේ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වර්ණවත් සංවත්සර සැමරුම් උත්සවයක් පැවති අතර එම අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහභාගී විය. රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී එතුමන් දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය. අනතුරුව, රෙජිමේන්තු සරඹ භූමියේදි එතුමන් වෙත රෙජිමේන්තු වර්ණ වලින් සමන්විත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් ද පුදකළහ.

මෙම සංවත්සර සැමරුම් දිනය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූපයන් සඳහා ද සහභාගී විය.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ කායවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, හිටපු රෙජිමේන්තු අධිපතිවරුන් ප්‍රමුඛ හිටපු සියලුම රෙජිමේන්තු සාමාජිකයන් එම රෙජිමේන්තුව ගොඩනැංවීම වෙනුවෙන් සිදුකරනු ලැබූ කැපකිරීම වෙනුවෙන් සිය විශේෂ උපහාරය පුදකළේය. ‘ද සැලියුට්’ බහුකාර්ය ශාලාවේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරිණි.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ 33 වන රෙජිමේන්තු දින සැමරුම සනිටුහන් කරමින් මීට ප්‍රථම ශ්‍රී දළදා මාලිගාවට ‘ගිලන්පස’ පූජා කරනු ලැබූ අතර 2023 මාර්තු මස 23 දින දානය පූජා කරන ලදී. එහිදී, මවුබිම වෙනුවෙන් දිවිපිදූ එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් පිං අනුමෝදන් කරනු ලැබීය. එමෙන්ම, යුද්ධ හමුදාවට සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ අතර ඉදිරි කටයුතු සාර්ථක වේවායි ද ප්‍රාර්ථනා කරන ලදී.