02nd April 2023 22:01:34 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි මාර්තු මස 21 සහ 22 දෙදින තුළ 23 වන පාබල සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරයක නිරත වූවේය.
සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 21) දින තාරාවිකුලම් ප්‍රදේශයේ ස්ථාපිත 232 වන පාබල බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග සහ 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අසිත පුෂ්පකුමාර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
බලසේනා බලප්‍රදේශයේ ආරක්‍ෂක හා පරිපාලන කටයුතු පිළිබඳ සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය. මෙම සංචාරයේදි මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි තොප්පිගල රණවිරු ස්මාරකය හා තොප්පිගල උරුම උද්‍යානය ද නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ද සංචාරය කළේය.
මාර්තු මස 22 දින සිංහපුර ප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ නාවල්අඩි ප්‍රදේශයේ ස්ථාපිත 6 වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයේ නිරත මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. එම ඒකක මූලස්ථානයන් වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයන්හි අඹ පැළ රෝපණය කළේය. අනතුරුව සමූහ ඡායාරූපයන් සඳහා සහභාගී වූ එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබුවේය.
මෙම සංචාරය සඳහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 232 සහ 233 වන පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.