Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2023 18:14:02 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් එම රෙජිමේන්තුවේ රණවිරුවෙකු වෙනුවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා පාබල හමුදාවේ අවශ්‍යතා සහිත රණවිරුවෙකු වෙනුවෙන් එම රෙජිමේන්තුව වෙතින් ඉදිකරනු ලැබූ නව නිවසක් ඔහු වෙත නිල වශයෙන් පවරාදීමේ උත්සවයක් ජුනි මස 8 දින අනුරාධපුර, මහදංගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවේය.

නිවාස අහිමි රණවිරුවන් වෙනුවෙන් අදියර තුනක් යටතේ නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය මීට මාස කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් විසින් එම රෙජිමේන්තුවේ සියලුම ඒකකයන් වෙත පවරාදෙනු ලැබීය.

එම ව්‍යාපෘතියට සමගාමීව ඉදිකරනු ලැබූ මෙම නව නිවස වසර 14 කට අධික නිකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කළ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත නිළ වශයෙන් භාරදෙනු ලැබීය. විවාහ ගිවිසගෙන සිටින ඔහුට එක් දියණියක් සිටියි.

5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් යූ.එම්.ටී.සී. ධර්මසිරි ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් මෙම නව නිවස ඉදිකිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය, ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම ඒකකයන්හි තෝරාගත් එක් රණවිරුවෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා 213 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.