Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2023 18:04:18 Hours

ශ්‍රී ලංකාවේ පස් දින නිල සංචාරයක නිරත නයිජීරියානු දූත පිරිස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ පස් දින නිල සංචාරයක නිරත නයිජීරියානු යුද්ධ හමුදාවේ පුහුණු හා මූලධර්ම අංශයේ අණදෙන නිළධාරී මේජර් ජෙනරල් එස්ඕ ඔලබන්ජි (Major General SO Olabanji) ප්‍රමුඛ නයිජීරියානු ආරක්‍ෂක දූත පිරිස සිය සංචාරයේ එක් අදියරක් ලෙස පසුගිය බ්‍රහස්පතින්දා (08) දින බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සංචාරයක නිරතවූහ. සංචාරයේ නිරත දූත පිරිස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

එහිදී පැවති සුහද හමුවේදී, දෙරටෙහි යුද්ධ හමුදාවන් අතර පවතින සබඳතාවයන් ප්‍රවර්ධනය කරගැනීම පිළිබඳ කරුණු සාකච්ඡා කළ අතර ආරක්‍ෂක අධ්‍යයන ශාඛාවේ පවත්වනු ලබන පුහුණු ක්‍රියාකාරකම් සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙමින් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ විශේෂ පුහුණු ස්ථානයන් පිළිබඳව ද ඔවුන් දැනුවත් කරනු ලැබීය.

එම විද්‍යාලයේ සතිපතා පැවැත්වෙන පුහුණු වැඩසටහනට අනුව කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් අභ්‍යාසවල නිරතවන ආකාරය නැරඹීමෙන් අනතුරුව විවෘත ගුවන් අංශ පරිශ්‍රයේ ප්‍රදර්ශනය කරන ලද භූමියට හැඩගැසීම පිළිබඳ ප්‍රදර්ශනයක් ද දූත පිරිස නිරීක්‍ෂණය කරනු ලැබීය. පසුව, එම විද්‍යාලයේ පාලක මැදිරියේ පැවැත්වෙන කනිෂ්ඨ අණදෙන පාඨමාලාවේ තවත් වැඩසටහනක පුහුණු සැසියක් ද නිරීක්‍ෂණය කළ ඔවුන් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය සහ විදේශ නිලධාරින්ගේ නිළ නිවාස මෙන්ම ආරක්‍ෂක අධ්‍යයන ශාඛා ගොඩනැගිලි සංකීර්ණයේද නිරීක්‍ෂණ සංචාරයක නිරතවූහ.

මෙම සංචාරය සමාප්තියේ, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ යුද විද්‍යාලයේ අනෙකුත් නිලධාරින් සමඟින් සංචාරයේ නිරත නයිජීරියානු දූත පිරිස සුහද අදහස් හුවමාරුවක නිරත විය. පසුව, එම විද්‍යාලයේ සේනාවිධායකතුමන්ගේ ආරාධනයකට අනුව ඔවුන් දිවා භෝජන සංග්‍රහකට ද සහභාගී විය.

සංචාරය සමාප්තියේ, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායකතුමන් සහ සංචාරයේ නිරත දූත පිරිස අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. ඔවුන් විද්‍යාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහන් ද තැබූහ.