Header

Sri Lanka Army

Defender of the Nation

04th May 2023 18:59:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 33 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

‘ආදර්ශයෙන් පෙරමුණ ගනිමු’ තේමා පාඨය කොටගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිමානවත් 33 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2023 අප්‍රේල් මස 19 සිට 28 දින දක්වා කාලය තුළ පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවත්සර ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කෙරිණි.

සංවත්සර දිනයේදී එම රෙජමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අනිල් එල්. ඉලංගකෝන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව රෙජිමේන්තු සරඹ භූමියේදී සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකරනු ලැබීය.

විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, විශ්‍රාමික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ඉදිරියේදී ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් අනිල් එල්. ඉලංගකෝන් එම රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

එම රෙජිමේන්තුවේ කොනොනි සමාජ ශාලාවේදී පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව එම රෙජිමේන්තු කර්නල් සේනාවිධායක හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ඇමතුවේය.

සංවත්සර සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම රෙජිමේන්තුවේ හිටපු කර්නල් සේනාවිධායක, විශ්‍රාමික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ගේ සහභාගීත්වයෙන් සංගීතමය වැඩසටහනක් ද පැවැත්විණි.

මීට ප්‍රථම අප්‍රේල් මස 19 සහ 20 දෙදින තුළ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පෙරහැරක්, පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් ඇතුලු ආගමික වැඩසටහන් මාලාවන් ද පැවැත්විණි. ඒ සඳහා එම රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක, විනයාරක්‍ෂාධිපති, හිටපු කර්නල් සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, විශ්‍රාමික නිලධාරීන් හා සෙසුනිලයන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන් ද සහභාගි වූහ.