13th February 2023 21:45:25 Hours
දඹුල්ලේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 16 වන අභිමානවත් සංවත්සරය එම රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත පසුගිය සෙනසුරාදා ( 11) දින එතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
සංවත්සර දින උත්සවය ආරම්භ කරමින්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර අබේසිංහ විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල වෙත ආරාධනා කරන ලදී.
අනතුරුව, එතුමන් වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල අලංකාරවත් වූ පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබූ අතර, පසුව සංවත්සර දින සැමරුම සනිටුහන් කරමින් එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින් සමගින් සමූහ ඡායාරූපයකට ද එක් වූ එතුමන් ඉන් අනතුරුව පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.
සංවත්සර දින උත්සවය වෙනුවෙන් එදින මහා සංඝරත්නය විසින් සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර, පසුදින උන් වහන්සේලා වෙත හීල් දානය පිරිනමනු ලැබීය. එදින (12) මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහභාගීත්වයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
සංවත්සර දින උත්සව අවස්ථාවන් සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බලසේනාවේ බලසේනාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, සියලුම ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.