Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2023 12:45:02 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිතුමිය ‘අභිමංසල - 2’ හි නිල සංචාරයක

2009 මැයි මාසයට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී මාතෘභූමිය වෙනුවෙන් තම කාය දානය ලබාදී රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සෙනසුරාදා (27) දින කඹුරුපිටිය ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයෙහි සංචාරයක නිරත විය.

අභිමංසල - 2 සුවතා නිකේතන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම සුවතා නිකේතනයේ සේනාවිධායක කර්නල් ජී.ජී.ආර් මාදුගොඩ යූඑස්පී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මහත්මිය සුවතා නිකේතන පරිශ්‍රයෙහි සංචාරයක නිරත වෙමින් යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය විසින් පිරිනමන ලද ත්‍යාග පාර්සල් එම රණවිරුවන් වෙත පිරිනමන ලද අතර, ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමද සිදුකලේය. එහිදී අභිමංසල - 2 සුවතා නිකේතනයෙහි රණවිරුවන් වෙනුවෙන් ඇති පහසුකම්, සිදුකරන පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන් ආදී කරුණු පිළිබඳවද තොරතුරු විමසීය.

යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු පිරිස සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය. එහිදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිතුමිය එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ ජල චිකිත්සක ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන පිහිනුම් තටාකයේ, පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ‘දියර ක්ලෝරීන්’ තොගයක් පරිත්‍යාග කරන ලදී. අනතුරුව එම රණවිරුවන් විසින් නිර්මාණය කරන ලද අත්කම් නිර්මාණයක් විශේෂ සමරු තිළිණයක් වශයෙන් ජානකී ලියනගේ මහත්මිය වෙත පිරිනැමිණි.

අභිමංසල - 2 සුවතා නිකේතනයෙහි සේනාවිධායකතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඇගයීම් සංකේතයක් පිරිනැමූ අතර, අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ද සුවතා නිකේතනයේ කටයුතු විශිෂ්ට ලෙස පවත්වාගෙන යාමට දිරිගැන්වීමක් වශයෙන් ඇගයීම් සංකේතයක් පිරිනමන ලදී. වර්ෂ 2012 මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකල පළමු සංචාරය මෙය විය.

අභිමංසල - 2 සුවතා නිකේතනයෙන් නික්ම යාමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මහත්මිය අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහන් තැබීය. එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් නේවාසික රණවිරුවන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.

සංචාරය සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී ඒකනායක ආර්එස්පී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද එක්ව සිටියහ.