06th June 2023 17:46:44 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත් 241 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් අක්කරෙයිපත්තුව නගරයේ, අම්පාර - අක්කරෙයිපත්තු මාර්ගයේ යුද්ධ හමුදා මාර්ග බාධකයක් තුලින් පලා යාමට උත්සාහ කල, යතුරුපැදියක් සොරකම් කල පුද්ගලයෙකු පසුගිය සිකුරාදා (02) දින අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු CT 100 වර්ගයේ යතුරුපැදියකින් (EP JY - 6410) ආරක්‍ෂිත හිස්වැසුමක් නොමැතිව වේගයෙන් ධාවනය කරන බව දුටු භටපිරිස් එම සැකකරුට නවතින ලෙස සංඥා කළද, එය නොතකමින් යතුරුපැදිකරු මාර්ග බාධකය තුලින් පලා යාමට උත්සාහ කළේය. එහිදී ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ භටපිරිස් සැකකරු නවතා ඔහුගේ යතුරුපැදියේ ලියකියවිලි පරීක්‍ෂා කළහ.
සිදුකරනු ලැබූ ප්‍රශ්ණ කිරීම් වලදී සැකකරු අක්කරෙයිපත්තුව නගරයේ සිට යතුරුපැදිය සොරගෙන ආරක්‍ෂිත හිස්වැසුමක් ද නොමැතිව පලා යමින් සිටි බව භටපිරිස් අනාවරණය කර ගත්හ. පසුව සොරාගත් යතුරුපැදිය සමඟින් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 241 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී එම සෙබළුන්ගේ ක්‍ෂණික ක්‍රියාමාර්ගය ඇගයීමට ලක් කලේය.