Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2023 21:36:24 Hours

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යා පීඨයේ 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යා පීඨයේ (SLCOMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය ‘Resilience of Military Medicine in Times of Crisis’ යන තේමාව යටතේ අත්තිඩිය ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී ඉකුත් සිකුරාදා (24) දින සවස පැවැත්වූ අතර, ඒ සඳහා වෛද්‍ය ක්‍ෂේත්‍රය හා සම්බන්ධ හමුදා සහ සිවිල් වෛද්‍ය උපදේශකයින්, වෘත්තිකයන් සහ හමුදා වෛද්‍ය විශේෂඥයින් විශාල පිරිසක් සහභාගී වූහ.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යා පීඨයේ ආරාධනයෙන් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය සෙල්වනායගම් නිර්තානන් මහතා එක්විය.

ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද උත්සවයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.

ජාතික ගීය ගායනා කිරීම, දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සහ චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දැල්වීම වැනි වැඩසටහන් වලින් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ විය.

උත්සවයේ සමාරම්භක දේශනය ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යා පීඨයේ සභාපති එයාර් කොමදෝරු එන්.ඩී.බී අබේසේකර විසින් පවත්වන ලද අතර, තෙදින සැසිවාරයන් අතරතුර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි මාර්ගෝපදේශයන් සකස් කිරීම පිළිබඳව ද, වර්ෂ 2016 දී එම විද්‍යාලයේ ආරම්භය පිළිබඳ අතීත මතකයන් ද එහි දී ආවර්ජනය කළේය

අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් රැස්ව සිටි පිරිස අමතා ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යා පීඨයේ සාර්ථකත්වයට සුබපැතුම් එක් කළ අතර, කෙටි දේශනයක් පවත්වා සිය අදහස් ප්‍රකාශ කළේය.

මෙම සැසිවාරය සඳහා වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් වෛද්‍ය විද්‍යාලවලින් වෘත්තිකයන් 150 කට අධික පිරිසක් සහභාගී වූ අතර, වාර්ෂික අධ්‍යයන සැසිවාරයේදී එම වෘත්තිකයන් සමගින් විෂය ක්‍ෂේත්‍රයට සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමටත්, විවිධ වෛද්‍ය ක්‍ෂේත්‍රයන් සමඟ එක්ව කටයුතු කිරීමටත් උත්සවයේ සංවිධායක මණ්ඩලය අපේක්‍ෂා කරයි.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෘත්තීය ආයතනයකි. එහි ආසන්න වශයෙන් වෛද්‍යවරුන් 400 ක පමණ පිරිසක් සාමාජිකත්වය දරන අතර, එය මෙරට ඇති විශාලතම වෛද්‍ය වෘත්තීය ආයතනයකි. මෙම විද්‍යාලයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණය වන්නේ සියලුම ත්‍රිවිධ හමුදා උපදේශකයින් සහ විවිධ ක්‍ෂේත්‍රයන්හී විශේෂඥ වෛද්‍යවරුන් මෙම ආයතනයේ සාමාජිකත්වය දැරීමයි. ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය 2016 මැයි මස ආරම්භයේ සිට ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ක්‍ෂේත්‍රයන්ගෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ගනිමින් හමුදා වෛද්‍ය ක්‍ෂේත්‍රයේ විශිෂ්ට වූ ස්ථානයක් ලබාගැනීමට නොපසුබට උත්සාහයක් ගෙන ඇත.