Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2023 20:31:22 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකක විසින් ආරම්භ කරන ලද ‘විරු සිසු ප්‍රදීප’ අදියර-2 යටතේ තවත් ශිෂ්‍යත්ව 100ක් පිරිනමයි

රට වෙනුවෙන් දිවිපිදූ සහ තුවාල ලැබූ රණවිරුවන් ඇතුළු සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් සඳහා ආර්ථිකමය සහනයක් ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකක විසින් ආරම්භ කරන ලද ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ 2 වන අදියර බ්‍රහස්පතින්දා (23) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරම්භ කරනු ලැබීය. එහිදී පැවති උත්සවයේදී පාසල් සිසුසිසුවියන් වෙත රුපියල් 25,000.00 ක මූල්‍යමය වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 100 ක් සංකේතාත්මකව ප්‍රදානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ අතර, එහිදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සටන් කර රට වෙනුවෙන් දිවිපිදූ සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ පවුල්වල දූ පුතුන් ඇතුළු සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දූ පුතුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. මෙම ශිෂ්‍යත්වයන් සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ජාතික ආරක්‍ෂක අරමුදල සහ ලංකා බැංකුව විසින් දක්වන ලදී.

විරු සිසු ප්‍රදීප අදියර - 2 වැඩසටහන යටතේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සෑම සිසු සිසුවියකුටම රුපියල් 25,000.00 ක වටිනාකමකින් යුත් මුදලක් ඔවුන්ගේ ඉතුරුම් ගිණුමේ තැන්පත් කරනු ලබන අතර, එහි මාසික ලාභාංශය ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා ලබා දෙනු ලැබේ. උත්සව අවස්ථාව ආරම්භ කිරීමට පෙර ශිෂ්‍යත්ව ලාභීන් දෙදෙනෙකු විසින් උත්සව පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමඟින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගනු ලැබීය.

උත්සවය ආරම්භයේදී චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දල්වා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ තේමා ගීතය ගායනා කරන ලද අතර, අනතුරුව ශිෂ්‍යත්ව ලාභීන් 30 දෙනෙකු මෙම උත්සවය සඳහා සංකේතාත්මකව සහභාගී විය. උත්සවය ආරම්භ කරමින් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් සුරකින ලද අතර, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමෙන් අනතුරුව ප්‍රතිලාභීන් ඇමතූ යුද්ධ හමුදාධිපතිතුමන් රටේ දේශප්‍රේමී පුරවැසියන් ලෙස රට වෙනුවෙන් දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් තම පියවරුන්ට ගෞරවයක් එක් කරමින් කැපවීමෙන් යුතුව අධ්‍යාපනය ලබා ඉදිරියටම යා යුතු බව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

උත්සව අවස්ථාව අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් තෝරාගත් පවුල්වල ප්‍රතිලාභීන් සඳහා රු.7000.00 වටිනාකමකින් යුත් පාසල් උපකරණ අඩංගු ඇසුරුම්, ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් සහ ළමා ඉතුරුම් ගිණුමක් පිරිනමන ලදී.

එංගලන්තයේ සසෙක්ස් (Sussex ) ප්‍රාන්තයේ හෝෂම් (Horsham) ප්‍රදේශයේ ස්ථාපිත ‘ලයන්ස් ක්ලබ්’ (Lions Club) සංවිධානයෙහි අනුග්‍රාහකත්වය ඇතිව විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට පැමිණ සිටි දානපති දොන් ඇන්තනි මහතා සහ චාමිනී ඇන්තනි මහත්මිය විසින් රුපියල් මිලියන 2.7 කට ආසන්න වටිනාකමකින් යුත් ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණාධාර කට්ටල තොගයක් පරිත්‍යාග කළ අතර, එම පරිත්‍යාගයන් මාතලේ, කයිකාවල, කොස්වාන පාසලෙහි අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් සහ විශේෂ අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර බෙදා දෙන ලදී.

උත්සව අවස්ථාව අතරතුරදී දානපති චාමිනී ඇන්තනී මහතා සහ එම මහත්මිය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

උත්සවය සමාප්තියේදී , ප්‍රතිලාභියෙකු විසින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත සිය කෘතවේදීත්වය පළ කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රතිලාභීන් සහ ආරාධිත අමුත්තන් සමඟින් තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වෙමින් ඔවුන් සමඟ සුහඳ පිළිසදරක ද නිරත වන ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ කාර්යය මණ්ඩලය ඇතුළු සෙසු නිලයින් පිරිසක් ද සහභාගි වූහ.