Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2023 17:50:34 Hours

ඓතිහාසික දළඳා මාලිගාවේ ‘ජනරජ පෙරහැර’ වර්ණවත් අයුරින් පැවැත්වේ

75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව රජය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව පසුගිය ඉරිදා (19) දින සන්ධ්‍යාවේ මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ ‘ජනරජ පෙරහැර’ පැවැත්විණි. එම අවස්ථාව සඳහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ පිරිසක් ද සහභාගී වූහ.

දළඳා මාලිගාවේ මඟුල් මඩුව පරිශ්‍රයෙන් ආරම්භ වූ ‘ජනරජ පෙරහැර’ දළඳා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළඳා මාලිගාව වෙත පැමිණෙන ලදී. අලි ඇතුන්, නැටුම්කරුවන්, කොඩි දරන්නන් සහ කසකරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඓතිහාසික දළඳා මාලිගාවේ ‘ජනරජ පෙරහැර’ ඉතාමත් වර්ණවත් අයුරින් පැවැත්වූ අතර එය සියැසින් දැකබලාගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 11 වන පාබල සේනාංකයේ භටපිරිස් ‘ජනරජ පෙරහැර’ පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අවශ්‍යතා සහ ආරක්‍ෂක විධිවිධාන ලබාදීම සඳහා සිය උපරිම සහයෝගය ලබාදුන්හ.

මෙම පූජනීය අවස්ථාව සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්, නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ, අලි සබ්රි, මනූෂ නානායක්කාර, ජීවන් තොණ්ඩමන් යන අමාත්‍යවරුන් මෙන්ම දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මැතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සහභාගී වූහ.

වික්ටෝරියා රැජිනගේ පුත් වේල්ස් ආදිපාදවරයා ශ්‍රී ලංකාවට පැමිණීම සැමරීම වෙනුවෙන් වර්ෂ 1875 දී ‘ජනරජ පෙරහැර’ ප්‍රථම වරට පවත්වනු ලැබීය. වර්ෂ 1954 දී, එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව ලෙස කටයුතු කළ දෙවන එළිසබත් රැජින මෙරටට පැමිණි අවස්ථාවේදී මෙම පෙරහැර පැවැත්වුණු අතර එහිදී රැජින ශ්‍රී දළඳා මාලිගාවේ පත්තිරිප්පුවේ සිට ‘ජනරජ පෙරහැර’ නැරඹීය. වර්ෂ 1981 දී නැවත මෙම පෙරහැර පැවැත්වුණු අතර, එහිදී දෙවන එළිසබත් රැජින දළඳා මාලිගාවේ මහ මළුවෙහි ඉදිකරන ලද විශේෂ පීඨිකාවක සිට පෙරහැර නැරඹුවාය.

රටේ වැදගත් අවස්ථාවන් සනිටුහන් කරමින් රජය විසින් සිදුකරනු ලබන ඉල්ලීමකට අනුව ශ්‍රී දළඳා මාලිගාව වෙතින් ‘ජනරජ පෙරහැර’ වැනි විශේෂ පෙරහැර අවස්ථාවන් පවත්වනු ලබයි. වර්ෂ 1987 අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දළඳා මාලිගාවේ රන් වියන විවෘත කරන අවස්ථාවේදී අවසන් වරට මෙම ‘ජනරජ පෙරහැර’ පැවැත්විණි.