Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2023 17:55:34 Hours

අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් ජාතික ශිෂ්‍යභට බලකායට ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ පිරිනැමේ

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී ඉකුත් ඉරිදා (පෙබරවාරි 19) දින පැවති වර්ණවත් උත්සවයකදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ජාතික ශිෂ්‍යභට බලකාය වෙත ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ පිරිනැමිණි. එම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් සහ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.

ජාතික ශිෂ්‍යභට බලකාය වෙත වර්ණ ප්‍රදානය කිරීමට ප්‍රථම නිලධාරීන් 23 දෙනෙකු, සරඹ උපදේශකයින් 11 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 10 දෙනෙකු සහ ශිෂ්‍යභටයින් 297 දෙනෙකුගෙන් සැදුම්ලත් වර්ණවත් පෙළපාලියේ ගෞරවාචාරය අතිගරු ජනාධිපතිතුමන් වෙත පිරිනැමූහ. මෙම පෙළපාලියේ අණදෙන නිලධාරි ලෙස ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු පරීක්‍ෂක කර්නල් හේමන්ත දේවපුර කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව පිළිබඳ කෙටි හැඳින්වීමකින් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් ජාතික ශිෂ්‍යභට බලකාය වෙත ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කරන ලදී. පසුව, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා යූඑස්පී පීඑස්සී විසින් ජාතිය සුරකින බවට දිවුරුම් දීම සිදුකරන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් උත්සව අවස්ථාව ඇමතූ අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතිය සුරකීමේ භූමිකාවන් සඳහා ජාතික ශිෂ්‍යභට බලකායේ කාර්යභාරය සහ වැදගත්කම පිළිබඳ පැහැදිලි කළේය.

1881 වසරේදී කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායමක් විසින් ආරම්භ කරනු ලැබූ ශිෂ්‍යභට බලකාය වර්ෂ 1988 දී ජාතික ශිෂ්‍යභට බලකාය ලෙස හඳුන්වනු අතර මේ වනවිට, එම බලකාය පළාත් මූලස්ථාන 09 කින්, බලඇණි 31 කින්, බටහිර හා නැගෙනහිර ශිෂ්‍යභට තූර්යවාදක කණ්ඩායම් 3871 කින් සහ දිවයින පුරා නිලධාරීන් 3000 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා යූඑස්පී පීඑස්සී සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගී වූහ.