Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2023 18:35:51 Hours

‘සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා’ සංවිධානයේ ශත සංවත්සර ග්‍රන්ථයේ පිටපත යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමයි

‘සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා’ සංවිධානයේ (ACJU) ජ්‍යෙෂ්ඨ විධායක සාමාජිකයින් තිදෙනෙකු ඉකුත් අඟහරුවාදා (21) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සමඟින් සුහද හමුවක නිරත වූ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ කාර්යභාරය පිළිබඳව ඇගයීමට ලක් කරන ලදී.

මෙම සුහද හමුවේදී, සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ශත සංවත්සරය නිමිත්තෙන් පසුගියදා එම සභාව විසින් නිකුත් කරන ලද ‘සෙන්චර් ඔෆ් සර්විස්’ (Century of Service) නම් කෘතියෙහි පිටපතක් යුද්ධ හමුදාපතිතුමන් වෙත පිළිගන්වමින් ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය ප්‍රවර්ධනය සඳහා සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සංවිධානවය කැපවී කටයුතු කරන ආකාරය පැහැදිලි කරන ලදී. අනතුරුව යුද්ධ හමුදාපතිතුමන් වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පිටපතක් ද සුහදත්වයේ සංකේතයක් වශයෙන් පිරිනමනු ලැබීය.

එම සුහද හමුව සඳහා සහභාගී වූ එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විධායක සභිකයින් තිදෙනා වන අෂ් සෙයික් මුර්ෂීඩ් මුලාෆ්ෆර් (Ash Sheik Murshid Mulaffar), අෂ් සෙයික් ෆාසිල් ෆාරුක් (Ash Sheik Fazil Farook) සහ අෂ් සෙයික් සල්මාන් (Ash Sheik Salman) යන මහත්වරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සුහදත්වය සංකේතවත් කරමින් විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය වර්ෂ 1924 ආරම්භකර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2000 අංක 51 දරන පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාගත කර ඇති එම සංවිධානයෙහි අරමුණු සහ දිගු කාලීන දැක්ම මගින් මුස්ලිම් ප්‍රජාවට සහ ජාතියට සේවය කිරීම සැලසුම් කර ඇත. වර්තමානය වන විට සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය මෙරට දිස්ත්‍රික්ක 24 ක ශාඛා 163 ක් සහ සක්‍රීය සාමාජිකයින් ලෙස විද්වතුන් 8000 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරයි.