24th February 2023 19:37:35 Hours
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන පාබල හමුදා අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.සී ළමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් සිකුරාදා (24) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
මෙම සුහද හමුවේදී, අතීත මතකයන් පිළිබඳ සිහිපත් කරමින් සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ළමාහේවා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායෙන් බිහිවු පාබල විරුවකු ලෙස සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ කැපවීමෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ සේවය වෙනුවෙන් එතුමන් වෙත ප්‍රශංසා කළේය.
2009 මැයි මාසයට පෙර කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානූෂීය මෙහෙයුමේදි වගකීම් සහිත පාබල නිලධාරියෙකු ලෙස ඉටුකරනු ලැබු සේවය සහ දායකත්වය මෙන්ම වටිනා කාර්යභාරය පිළිබඳව ද එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඒ.සී ළමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබඳවත් පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය.
යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරල් ඒ.සී ළමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මෙන්ම එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟින් පැවති සුහඳ පිළිසඳරේදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළ අතර, එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්ද සිය සුභාශිංෂනයන් එක්කළේය.
මෙම සුහඳ හමුව අවසානයේ, මේජර් ජෙනරල් ඒ.සී ළමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය. අනතුරුව එතුමන් විසින් හමුදාධිපතිතුමන් වෙත ද සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
වර්ෂ 1988 පෙබරවාරි මස 22 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් ඒ.සී ළමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 29 - යටතේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරනු ලැබු අතර, ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 ජනවාරි මස 28 වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත එතුමන් දැනට පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති යන ධූරයන් හෙබවූවේය. මීට ප්‍රථම එතුමන් කණ්ඩ භාර නිලධාරි, බලඇණි බුද්ධි නිලධාරි, 5 ගැමුණු හේවා බලකායේ විධායක අධිකාරි සහ බී සහ ඩී කණ්ඩායම්වල නිලධාරී අණදෙන, 233 සහ 545 වන පාබල බලසේනාවන්හී බලසේනා මේජර්, සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී 2, පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහල මාණ්ඩලික නිලධාරී 2 (පාලන), 5 ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, 59 වන පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියාන්විත), රෙජිමේන්තු මූලාස්ථාන බලඇණියේ සහ 7 ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි, ආරක්‍ෂ සේනා මූලස්ථානය - දකුණ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (පාලන), ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂ බලකායේ සේනාංකාධිපති, 57 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ගැමුණු හේවා රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 561 වන පාබල බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති, 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික වැනි ධූරයන් හොබවා ඇත.
යුද බිමේ එතුමන් දැක්වූ වීරක්‍රියා සහ නිර්භීතකම වෙනුවෙන් ‘වීර වික්‍රම විභූෂණ’, ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ සූර පදක්කම’ යන සම්මානයන්ගෙන් එතුමන් පිදුම් ලබා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව සහ ඒකක පරිපාලන පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලාධාරි පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ හදිසි අණදෙන නිළධාරී පාඨමාලාව - බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාවේ අණ සහ මාණ්ඩලික මෙහෙයුම් නීති පාඨමාලාව ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රැසක් ද සාර්ථකව හදාරා ඇත.
මේජර් ජෙනරල් ඒ.සී ළමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ඉන්දියාවේ ඉන්දෝර් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, මනෝවිද්‍යා අධ්‍යයන ආයතනයේ මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, කොළඹ මනෝවිද්‍යා අධ්‍යයන ආයතනයේ මාර්ගෝපදේශන සහ උපදේශනය පිළිබඳ උසස් පාඨමාලාව ඇතුළු පාඨමාලා රැසක් සාර්ථකව හදාරා ඇති ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරියෙකි.