Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2023 21:00:51 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා ත්‍රෛභාෂා විද්‍යුත් පුවත්පත එළිදක්වයි

යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩ‍ය විසින් සම්පාදනය කළ පළමු ත්‍රෛභාෂා විද්‍යුත් පුවත්පත වන ‘යුද හමුදා දෙසතිය’ පුවත්පත දිවයින පුරා සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට එළිදැක්වීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී ඉකුත් බදාදා (මාර්තු 1) සිදුකරනු ලැබිණ. යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ මෙම විද්‍යුත් පුවත්පතෙන් යුද්ධ හමුදා සාමාජිකයින් දැනුම්වත් කිරීම සිදුකෙරේ.

දෙසතියකට වරක් ප්‍රකාශයට පත්කරනු ලබන මෙම විද්‍යුත් පුවත්පත දිවයින පුරා රාජකාරියෙහි නියුතු සියලුම යුද්ධ හමුදා භටපිරිස් සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය වෙත බෙදාහැරීම සිදුකෙරේ.

යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් විසින් නව ත්‍රෛභාෂා විද්‍යුත් පුවත්පත පිළිබඳ කෙටි හැඳින්වීමකින් පසුව එම විද්‍යුත් පුවත්පත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එළිදක්වන ලදී.

නවීන තාක්‍ෂණයත් සමඟින් නිරන්තරයෙන් යාවත්කාලීන වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තොරතුරු ඩිජිටල් ද්වාරයෙන් එළිදැක්වීම සඳහා මේ වන විටත් යුද්ධ හමුදා නිල වෙබ් අඩවියක් (www.army.lk), ජාතියේ ආරක්‍ෂකයා (Defenders of the Nation) නමින් Facebook ගිණුමක්, Twitter ගිණුමක්, Instagram ගිණුමක් සහ Youtube නාලිකාවක් පවත්වාගෙන යනු ලබයි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා, කර්නල් ජනමාධ්‍ය කර්නල් ධම්මික අධිකාරි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (වෙබ් සහ අන්තර්ජාල) ලුතිනන් කර්නල් රෝහණ වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.