03rd March 2023 18:00:08 Hours
කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිව්දෙනෙකු වෙත උපහාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (2) දින පැවැත්විණි.
මෙම උත්සවය කොළඹ මහානාම විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය, විදුහල්පතිතුමන්, හිටපු විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් විසින් සංවිධානය කරනු ලැබීය.
උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ත්‍රිවිධ හමුදාවේ පාසල් මිතුරන් සහ එම විද්‍යාලයේ විදුහල්පති ඒ.එම්.ඒ.ඒ.සී පෙරේරා මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කරනු ලැබිණ.
අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලෙයි, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, ශ්‍රී ලංකා නාවික හමුදා කාර්යය මණ්ඩල සහ නාවික සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් චන්දන රත්නායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත පාසලේ ශිෂ්‍යභට ඛණ්ඩය විසින් වර්ණවත් වූ ගෞරව සම්මාන පෙළපාලියේ ආචාරය පිරිනැමීය.
පිළිගැනීමේ උත්සව අවස්ථාවට ආරාධිතයින් පාසල් ශ්‍රවණාගාරයට කැඳවාගෙන පැමිණි අතර, එහිදී විදුහල්පතිතුමන් විසින් පිළිගැනීමේ කතාව සිදුකරමින් මෙම උපහාර උත්සවය සංවිධානය කිරීමට හේතු වූ කරුණු සහ සියලුදෙනාගේ සහයෝගය ඇතිව එය සාක්‍ෂාත් කරගත් ආකාරය පිළිබඳ රැස්ව සිටි පිරිස දැනුවත් කළේය. මෙම උපහාර උත්සවයේදී කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ අමිල සේවය ද ඇගයීමට ලක් කරන ලදී.
ඉන් අනතුරුව, මේජර් ජෙනරල් චන්න වීරසූරිය, මේජර් ජෙනරල් සුරේෂ් සලෛයි, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහ රියර් අද්මිරාල් චන්දන රත්නායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිවෙලින් උත්සව අවස්ථාවට පැමිණ සිටි පිරිස ඇමතූහ.
මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් දේශනයක් සිදුකරමින් උත්සවයේ සංවිධායක මණ්ඩලයට සහ එහි පැමිණ සිටි තම සමකාලීනයින් වෙත සිය කෘතඥතාව පුදකිරීමෙන් අනතුරුව එතුමන්ගේ පාසල් අවධියේ මතකයන් යලි ආවර්ජනය කරනු ලැබීය. ඉන් අනතුරුව, මියගිය සහ ජීවත්ව සිටින සිය උපදේශකයින් සහ ගුරු භවතුන් පිළිබඳ ආවර්ජනය කරමින් ඔවුන් වෙත සිය උපහාරය පුදකළ මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය පාසල් දිවියේ අමතක නොවන අවස්ථාවන් කිහිපයක් පිළිබඳ සිහිපත් කරන ලදී.
අනතුරුව, මේජර් ජෙනරල් චන්න වීරසූරිය, මේජර් ජෙනරල් සුරේෂ් සලෙයි, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහ රියර් අද්මිරාල් චන්දන රත්නායක ඇතුළු ආරාධිත අමුත්තන් වෙත විදුහල්පතිතුමන් සමරු තිළිණ ප්‍රදානය කළේය .
එම අවස්ථාවේදී මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ප්‍රමුඛ ආරාධිතයින් විසින් විද්‍යාලය වෙනුවෙන් විදුහල්පතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, විද්‍යාලයීය ඉතිහායේ මෙවැනි උපහාර උළෙලක් සිදුකරන ලද පළමු අවස්ථාව මෙය විය.
මෙම උපහාර උළෙලෙන් අනතුරුව මේජර් ජෙනරාල් චන්න වීරසූරිය සිය සමකාලීනයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය