Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2023 20:49:56 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් යූ.පී.ආර් වීරකෝන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.පී.ආර් වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී, සිය පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින හමුවිය.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදාවට වසර 34 කට වැඩි කාලයක් ආදර්ශමත් ලෙස සිය සේවය ලබාදුන් පාබල රෙජිමේන්තු සාමාජිකයෙකු වන මේජර් ජෙනරල් යූ.පී.ආර් වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත සිය සුභාශිංසනයන් එක්කල අතර, වර්ෂ 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී පාබල නිලධාරියෙකු වශයෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ නිර්භීත සේවය සහ එහි නොමැකෙන මතකයන් යළි ආවර්ජනය කරන ලදී.

එමෙන්ම විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද අදහස් හුවමාරුවක නිරත වෙමින් මේජර් ජෙනරල් යූ.පී.ආර් වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී සහ අනෙකුත් රාජකාරි අවස්ථාවන්හිදී සිය රාජකාරි කටයුතු නිසි අයුරින් ඉටුකිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් වෙතද ස්තූතිය පුදකළේය.

මෙම සුහඳ හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන් ද ප්‍රදානය කරන ලද අතර, මේජර් ජෙනරල් යූ.පී.ආර් වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරල් යූ.පී.ආර් වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වර්ෂ 1988 ඔක්තෝම්බර් මස 06 වන දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 32බී යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි රත්මලාන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද්ධ හමුදා පුහුණුව සම්පූර්ණ කිරිමෙන් අනතුරුව දෙවන ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්කර පසුව විජයබාහු පාබල රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදී. එතුමන් 2021 අගෝස්තු 02 වන දින මේජර් ජෙනරල් නිලයට උසස් කරන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම දිවියට එළ‍ෙඹන අවස්ථාව වන විට 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවනු ලැබීය.

රණ බිමේ දැක්වූ නිර්භීතකම සහ නායකත්වය වෙනුවෙන් ‘වීර වික්‍රම විභූෂණ’, ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ සූර පදක්කම’ යන සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය යුද්ධ හමුදා දිවිය තුළ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කණ්ඩ භාර නිලධාරි, 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන, 112 වන පාබල බලසේනාවේ නියෝජ්‍ය කලාප අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි ll, 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ හමුදා නිරීක්‍ෂක, 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 14 පාබල සේනාංකයේ කලාප අණදෙන නිලධාරි, 58 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි l (සම්බන්ධීකරණ), කාර්ය සාධක බලකාය 3 හි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නියෝජ්‍ය සේනාවිධායක, 242 පාබල බලසේනාවේ වැඩ බලන බලසේනාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධීකාරක නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මණ්ඩලික නිලධාරි, 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි තනතුරු රාශියක් ඉතා මැනවින් හොඹවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ කණ්ඩ භාර නිලධාරීන්ගේ පාඨමාලාව, බුද්ධි නිලධාරීන්ගේ පාඨමාලාව, ප්‍රවාහන අංශභාර නිලධාරීන්ගේ පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලා, උපදේශක පුහුණු පාඨමාලා, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව ආදී දේශීය පාඨමාලා රැසක් හා කෙඩෙට් නිලධාරී පුහුණු පාඨමාලාව – පාකිස්ථානය, නිලධාරී අවි පුහුණු පාඨමාලාව – බංගලාදේශය, All Arms Field Engineering and Watermanship පාඨමාලාව – පාකිස්තානය, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව – පාකිස්තානය, කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව – ඉන්දියාව, Advanced Training Programme for Talents from Maritime Silk Road Countries – චීනය සහ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව ආදී විදේශීය පාඨමාලා රැසක් ද සාර්ථකව හදාරා ඇත.