Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2023 22:45:13 Hours

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ භටපිරිස් අමතයි

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අඟහරුවාදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට පැමිණ සිටි යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඔවුන් වෙත දෙනු ලැබීය.

පසුව, යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරය සනිටුහන් කරමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ සාගල රත්නායක මහතා සියලුම යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී පිළිගැනීමේ කතාව පැවැත්වීමෙන් අනතුරුව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් යුද්ධ හමුදා සාමාජිකයන් ඇමතූහ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ භටපිරිස් අමතමින් පැය 24 පුරා කැපවීමෙන් රාජකාරින් සිදුකරන සියලුම හමුදා සාමාජිකයින්ට සිය ස්තූතිය පුදකරමින් ඔවුන්ගේ විනයගරුකභාවය ඇගයීමට ලක්කළේය. එමෙන්ම, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සියලුම සුබසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ වෘත්තීය ප්‍රගමනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද පැහැදිලි කළේය. අනතුරුව, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් එම අවස්ථාවට රැස්ව සිටි පිරිස සමඟින් පසුගිය කාලයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා යුද්ධ හමුදාව සිදුකරන ලද සුවිශේෂී කාර්යභාරය පිළිබඳව එහිදී වැඩි දුරටත් අදහස් හුවමාරු කරගත්හ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන්ලා වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ඔවුන් යුද්ධ හමුදා මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහන් ද තැබුවේය.