22nd March 2023 22:14:43 Hours
ශීඝ්‍රයෙන් වෙනස් වන තාක්‍ෂණයත් සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යා හැකි පරිදි යුද්ධ හමුදාවේ තාක්‍ෂණික අංශ, පර්යේෂණ සහ සංවර්ධන අංශ තවදුරටත් දියුණු කිරීම සඳහා විශේෂඥ උපදේශන ලබාගැනීමේ සහ ගවේෂණ කටයුතුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එන්.ඩී. ගුණවර්ධන ඇතුළු විද්වතුන් කණ්ඩායමක් ඉකුත් බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණ සුහද සාකච්ඡාවක නිරත වූහ.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි මොරටුව විශ්වවිද්‍යාලයේ විද්වත් කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රවලට අදාළව යුද්ධ හමුදා තාක්‍ෂණික අංශවල ප්‍රගතිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ ශාස්ත්‍රීය සහ තාක්‍ෂණික විශේෂඥතාව උපයෝගී කරගැනීමේ හැකියාව පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් සාකච්ඡාවේ අරමුණ විස්තර කරන ලදී.
එහිදී නියමුවන් රහිත යානා භාවිත කිරීමේ ශිල්පීය ක්‍රම, සංඥා, සිතියම්ගත කිරීමේ ව්‍යාපෘති, විද්‍යාත්මක පර්යේෂණ, ඉංජිනේරු අංශ, සංරක්‍ෂණ ක්‍රම ආදිය පිළිබඳ දැනුම යාවත්කාලීන කරගැනීම යුද්ධ හමුදාවට ඉදිරියේදී බොහෝ සේ උපකාරී වනු ඇති බව යුද්ධ හමුදාධිපතිතුමන් සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ, පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී, අධ්‍යක්‍ෂ තොරතුරු තාක්‍ෂණ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී, අධ්‍යක්‍ෂ පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාව බ්‍රිගේඩියර් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.පී මලවරගේ ආර්එස්පී යූඑස්පී අයිජී, 10 වන කාලතුවක්කු හමුදාවේ සහ 12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරීන් සහභාගී වූ අතර, ඔවුන් මොරටුව විශ්වවිද්‍යාලයේ විද්වතුන් සමග අනාගතයේදී සිදුකළ යුතු උපායමාර්ගික සැලැසුම් පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා ලදී.
මෙම සාකච්ඡාව අවසානයේ දී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එන්.ඩී ගුණවර්ධන වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා, ඉලෙක්ට්‍රොනික් හා විදුලි සංදේශ ඉංජිනේරු පීඨයේ ප්‍රධානී ආචාර්ය රංග රොද්‍රිගෝ මහතා, යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ආර්.ඒ.ආර්.සී. ගෝපුර මහතා, ඉලෙක්ට්‍රොනික් හා විදුලි සංදේශ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය එස්.ආර්. මුණසිංහ මහතා, යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ මහාචාර්ය හිමාන් පුංචිහේවා මහතා සහ ඉලෙක්ට්‍රොනික් හා විදුලි සංදේශ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ඒ.ඒ. පැස්කුවෙල් මහතා සහභාගී වූහ.