23rd March 2023 21:08:13 Hours
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි සඳහා අතිරේකව සූදානම් කර සිටින ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි බී - 1’ හි ක්‍රියාන්විතයන් සඳහා වන සූදානම පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (මාර්තු මස 23) දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසල වෙත පැමිණියහ.
මෙම සංචාරය සඳහා සහභාගී වූ ජේම්ස් වික්ටර් ඩී. රොකෝල් (James Victor De Rcole) මහතා, කර්නල් ලෝරන්ස් කපිනා (Colonel Lawrence Kapina), ලුතිනන් කර්නල් රජීව් (Lieutenant Colonel Rajeev), මාර්ක් ෆ්ලඩ් (Mark Flood) මහතා සහ සත්වින්දර් සිං පෝල් (Satvinder Singh Paul) මහතා ඇතුලු එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ක්‍රිෂාන් මනෝහරන් විසින් පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් විසින් සංචාරයේ නිරත පිරිස පිළිගැනීමෙන් අනතුරුව අතිරේකව සූදානම් කර සිටින ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි බී - 1’ විසින් පුහුණු පාසල් පරිශ්‍රය තුළ පුපුරණ ද්‍රව්‍ය උපකරණ නිෂ්ක්‍රීය කිරීමේ නිදර්ශනයක් සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සබැඳිව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරනු ලැබීය. එමෙන්ම, සැක කටයුතු වස්තූන් හඳුනාගැනීම පිළිබඳ ප්‍රායෝගික නිදර්ශනයක් ද මෙහිදී පැවැත්වු අතර, එම පුහුණු නිදර්ශණයන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායමේ නිරීක්‍ෂණයට ලක්විය.
විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් අසංක පෙරේරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි බී - 1 අණදෙන නිලධාරි කර්නල් රුවන් සේනාධීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.