Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2023 21:17:07 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ එම විද්‍යාලයේ අංශ සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 23) දින එම විද්‍යාලයේ සංචාරයක නිරත විය.

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. පසුව සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟ සමූහ ඡායාරුපයකට පෙනී සිටියේය.

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල පරිශ්‍රයට අලංකාරයක් සහ ගාම්භීර බවක් එක්කරමින් එහි ස්ථාපිත කරනු ලැබු ප්‍රදර්ශනාත්මක ටී - 55 යුද ටැංකිය සහ භාවිත කළ නොහැකි මිලිමීටර් 130 කාලතුවක්කුවක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිරාවරණය කර ශිෂ්‍ය නිලධාරීන් සඳහා විවෘත කරන ලදී.

භාවිතයට නුසුදුසු ටී - 55 යුද ටැංකිය භාවිතයෙන් ඉවත් කිරීමට පෙර වර්ෂ 1996 සහ 1997 කාලය තුළ ‘සත්ජය’ සහ ‘ජයසිකුරු’ මෙහෙයුම්වලදී කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සඳහා භාවිතා කරන ලදී. මිලිමීටර් 130 වර්ගයේ කාලතුවක්කුව භාවිතයෙන් ඉවත් කිරීමට පෙර 2009 මැයි මාසයට ප්‍රථම උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පැවැති මානූෂීය මෙහෙයුම් සඳහා භාවිත කර ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන් සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාධිධායක සමඟින් එක්ව එම විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන්ගේ පංති කාමර දේශීය හා විදේශීය උපාධි අපේක්‍ෂකයන්ගේ නවාතැන් පහසුකම්, විභාග ශාලා, ආහාර ලබාගන්නා ස්ථාන සහ අනෙකුත් පහසුකම් නිරීක්‍ෂණය කරන ලදී.

සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී අතර සමරු තිළිණය හුවමාරුවක්ද සිදුවිය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් නික්මයාමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් එම විද්‍යාලයේ සමරු සටහන් පොතේ විශේෂ සටහනක්ද තැබීය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.පී. කාරියවසම්, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.පී මලවරගේ ආර්එස්පී යූඑස්පී අයිජී ඇතුළු කාලතුවක්කු හමුදා බලසේනාවේ බලසේනාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යයන ආයතනය වන සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය තුළ තෝරාගත් ත්‍රිවිධ හමුදා නිලධාරින්, ශ්‍රී ලංකා පොලිස් නිලධාරින්, විදේශීය රටවල ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් සඳහා පාඨමාලාවන් පවත්වනු ලබන අතර, එහිදි ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටිය පිළිබඳව දැනුම ලබාදීමට සහ අණ හා මාණ්ඩලික ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම ලබාදෙමින් අනාගතයේ එම නිලධාරින් විවිධ මාණ්ඩලික තනතුරු හෙබවීමේදී සහ අභියෝගවලට මුහුණදීමේදී ඵලදායි අයුරින් කටයුතු කිරීමේ ගුණාංග ප්‍රවර්ධනය කරනු ලබයි.