29th March 2023 19:33:58 Hours
නුදුරේදි විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කීර්තීමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් එච්.ඩී.කේ. හෙයියන්තුඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟ පසුගිය බදාදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය. එතුමන් මීට පෙර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක අමාත්‍ය උපදේශක තනතුර ද හෙබවීය.
වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන පාබල හමුදා සාමාජිකයෙකු වන මේජර් ජෙනරල් එච්.ඩී.කේ. හෙයියන්තුඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදී සුභාශිංසනයන් එක් කළේය.
ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී පාබල හමුදා නිලධාරියෙකු වශයෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ නිර්භීත සේවය සහ එහි අමිල මතකයන් මෙම සුහද හමුවේදී යළි ආවර්ජනය කරන ලදී.
මේජර් ජෙනරල් එච්.ඩී.කේ. හෙයියන්තුඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත සැලසුම් පිළිබඳ විමසමින් ඊට සුබපැතුම් එක් කළේය.
මේජර් ජෙනරල් එච්.ඩී.කේ. හෙයියන්තුඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී සහ අනෙකුත් රාජකාරි අවස්ථාවන්හිදී සිය රාජකාරි කටයුතු නිසි අයුරින් ඉටුකිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකළේය.
මෙම සුහඳ හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන් ද ප්‍රදානය කරනු ලැබූ අතර, මේජර් ජෙනරල් එච්.ඩී.කේ. හෙයියන්තුඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මේජර් ජෙනරල් එච්.ඩී.කේ. හෙයියන්තුඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වර්ෂ 1989 ජනවාරි මස 23 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 31 ඒ යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද්ධ හමුදා පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදී. එතුමන් 2022 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් රණ බිම තුළ දැක්වූ නිර්භීතකම සහ විශිෂ්ඨ ක්‍රියා හේතුවෙන් එතුමන් වෙත ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ ශූර පදක්කම’ ද පිරිනමා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කණ්ඩ භාර නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි III (පාලන), 231 වන පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරි III (ක්‍රියාන්විත), 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, 7 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, එක්සත් ජාතීන්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ස්ථානගත 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 22 වන පාබල බලසේනාවේ වැඩබලන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 57 වන පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 7 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරි I (පාලන), ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, 65 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී, 513 සහ 533 වන පාබල බලසේනාවන්හි බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වැනි තනතුරු හොඹවන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ ඛණ්ඩ භාර නිලධාරීන්ගේ උපක්‍රමික පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, සරඹ අවි ක්ෂේත්‍ර ඉංජිනේරු පාඨමාලාව - පකිස්ථානය, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව – පාකිස්තානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව – ඉන්දියාව, ඒකාබද්ධ මෙහෙයුම් කාර්ය මණ්ඩල පාඨමාලාව - චීනය, ඒකක අණදෙන්නන්ගේ පාඨමාලාව - බංගලාදේශය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ උපදේශක පාඨමාලාව - ඕස්ට්‍රේලියාව වැනි දේශීය සහ විදේශීය පාඨමාලාවන්ද හදාරා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජනමාධ්‍යවේදය සහ මාධ්‍ය කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආපදා විශ්ලේෂණය, කළමනාකරණය සහ අවම කිරීම පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධියක් ද හදාරා ඇත.