Header

Sri Lanka Army

Defender of the Nation

31st March 2023 20:51:22 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් 22 වන පාබල සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සංචාරයේ නිරත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය සංචාරය අතරතුර පසුගිය සිකුරාදා (31) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරය කළේය.

22 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් දුෂ්කර කාලසීමාවක් තුළ සියලු ජනවාර්ගිකයන් සමඟ සහයෝගීතාවයෙන් යුතුව සිය වෘත්තියෙහි ගෞරවය සහ විනය ආරක්‍ෂා කරගනිමින් කාර්යක්‍ෂමව රාජකාරි ඉටුකිරීම පිළිබඳව සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සිය ස්තූතිය පුදකළේය. එමෙන්ම, විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත පුද්ගලයින්ගේ ක්‍රියාවන්ට හසු නොවී උදාර සේවය ඉදිරියටත් මවුබිම වෙනුවෙන් ලබාදෙන ලෙස ද වැඩිදුරටත් එතුමන් දැනුවත් කළේය.

දේශනය සමාප්තියේ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැමිණීම ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් පිරිනැමූ අතර යුද්ධ හමුදාධිපතිතුමන් ද 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ එම බලප්‍රදේශයේ සේවයේ නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.