Header

Sri Lanka Army

Defender of the Nation

09th April 2023 22:18:02 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දිවංගත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රණවිරුවෙකුගේ පවුලක් වෙත නව නිවසක්

යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත රටේ ඒකීය භාවය වෙනුවෙන් පැවති මානූෂීය මෙහෙයුමට සක්‍රීය දායකත්වය ලබාදුන් අභාවප්‍රාප්ත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සැරයන් ඩබ්. එම් කුමාරදාස රණවිරුවාගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් අනුරාධපුර කුඩා කලත්තෑව ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉතුක් සෙනසුරාදා (8) දින ප්‍රතිලාභීන් වෙත භාරදෙනු ලැබීය.

2009 මැයි මාසයට පෙර රට පැවති බෙදුම්වාදී ත්‍රස්ථවාදයට එරෙහිව අභීතව මුහුණදී ත්‍රස්ථවාදය සාර්ථකව තුරන් කිරීමට සක්‍රීයව දායක වූ අභාවප්‍රාප්ත සැරයන්වරයාගේ පවුල වෙත යුද්ධ හමුදාධිපති අරමුදල සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 2.2 ක මුදලක් වැයකර මෙම නව නිවස ඉදිකර දෙන ලදී. 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම භාවිතා කරමින් ඉදිකරන ලද නව නිවස නිදන කාමර තුනක්, සනීපාරක්‍ෂක පහසුකම්, මුළුතැන්ගෙයකින්ද සමන්විත වෙයි.

උත්සව අවස්ථාවට ප්‍රධාන අමුත්තන් වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය දිවංගත සැරයන් ඩබ්ලිව්. එම් කුමාරදාස රණවිරුවාගේ බිරිඳ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සමරු ඵලකය නිරාවරණය කර සංකේතාත්මකව යතුර ප්‍රතිලාභී එච්.එම්.එස්.කුමාරිහාමි මහත්මිය වෙත පවරාදෙනු ලැබීය.

නව නිවසේ පීත්ත පටිය කැපීමෙන් අනතුරුව චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දල්වා කිරි ඉතිරවීමේ වාරිත්‍ර සිදුකෙරුණු අතර, එම අවස්ථාවට නිවාස ප්‍රතිලාභී පවුලේ සාමාජිකයන් හා ඥාතීන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ. කීර්තිනාත, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අතුළු පිරිසක් සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්, ජානකී ලියනගේ මහත්මිය, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් නව නිවසේ ප්‍රතිලාභින් වෙත ශීතකරණයක්, රයිස් කුකරයක්, මුළුතැන්ගෙයි උපකරණ, වියළි ආහාර සලාක පාර්සල් සහ අත්‍යවශ්‍ය භාන්ඩ කීපයක් ද පිරිනමන ලදී.

උත්සව අවස්ථාව අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන්, නිවාස ලාභී එච්.එම්.එස්.කුමාරිහාමි මහත්මිය සහ ඇයගේ දරුවන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී එතුමන් ඔවුන්ගේ සුවදුක් විමසා, රට වෙනුවෙන් දිවිපිදූ ඩබ්ලිව්. එම් කුමාරදාස රණවිරුවාගේ අතීත මතකයන් සිහිපත් කරමින් “2009 ට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් කළ හැකි උපරිම සේවය ඉටු කළ රණවිරුවෙක් බවත්, ඔහුගේ මතකයේ ගෞරවය ආරක්‍ෂා කිරීම දැන් ඔබේ යුතුකම බවත්” වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් මානූෂීය මෙහෙයුම වෙනුවෙන් සටන් වැදුණු සැරයන් ඩබ්ලිව්. එම් කුමාරදාස රණවිරුවා සේවයේ යෙදී සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් 2002 වසරේදී අභාවප්‍රාප්ත විය. නව නිවාස ලබාදීමේ උත්සව අවස්ථාවට 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.බී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 21 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් කේ.ඒ.ඩී.එන්.ආර් කන්නන්ගර ආර්එස්පී අයිජී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එන්.එච්.ජේ.එම් නවරත්න, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.