14th April 2023 14:59:00 Hours
ශ්‍රි ලාංකිකයින්ගේ අද්විතීය සංස්කෘතික මහෝත්සවයක් වන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය වෙනුවෙන්, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලූම සාමාජිකයින්ටත් සිවිල් කාර්ය මණ්ඩලයේ සැමටත් ප‍්‍රථමයෙන්ම මාගේ සුභාශිංසනය මින් පළකරමි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක‍්‍රමණය වීමත් සමග උදාවන අලුත් අවුරුද්ද චිරාගත සම්ප‍්‍රදායන්වලට ප‍්‍රමුඛත්වය දෙමින් සිංහල හා දමිල ජනයා විසින් සමරන සංස්කෘතික සැණකෙළියකි. පාරම්පරික සම්ප‍්‍රදායන් හා සිරිත් විරිත් සුරකිමින් ඒවා ඉදිරියටත් පවත්වාගෙන යාම එහිදී අපේක්‍ෂා කරන අතර, දරු දැරියන් මෙන්ම වැඩිහිටියන්ද නැවුම් ආශ්වාදයක් මෙන්ම ප්‍රීතිමත් අත්දැකීමක් ලබාගන්නා අසිරිමත් අවස්ථාවකි. විශේෂයෙන්ම නැකත් චාරිත‍්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය ලබාදෙමින් අවුරුදු චාරිත‍්‍ර, අවුරුදු ක්‍රීඩා හා ආශිර්වාදයන් තුළින් එක් අරමුණක් වෙනුවෙන් ශ‍්‍රී ලාංකික සියලූ ජාතීන්ට ක‍්‍රියාකිරීමට ඇති හැකියාව මෙහිදී පිළිබිඹු වෙයි.
පසුගිය වර්ෂය ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ට මෙන්ම සමස්ත ශ‍්‍රී ලංකා වාසීන්ටම අභියෝගාත්මක වසරක් වූ බව අප සැවොම දන්නා කරුණකි. එම දුෂ්කර කාලසීමාවේ සියලූ අපහසුතා දරාගෙන වෘත්තීයමය සහ විනයගරුක රණවිරුවන් ලෙස ඔබ සැම ඉටුකළ කාර්යභාරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති වශයෙන් මාගේ ප‍්‍රශංසාව පුදකර සිටිමි. ගරු ජනාධිපතිතුමන්ගේ දැක්ම අනුව ආරක්‍ෂක අංශ මෙන්ම සමස්ත රට වැසියන්ගේම කැපවීමත් දායකත්වයත් මත මේ වනවිට අප රට ස්ථාවර තත්වයකට පත්වෙමින් තිබෙන බව කිව යුතුය. එම සියලූ පාර්ශවයන්ගේ කැපකිරීම් හා උනන්දුවේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවර අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව උදාවීම සතුටට කරුණක් බවද සඳහන් කරමි.
මෙරට මුහුණ දුන් සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව, මාතෘභූමියත් එහි වාසය කරන ජනතාවත් සුරක්‍ෂිත කරමින් මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකර ඇති බව ප‍්‍රත්‍යක්‍ෂ කරුණකි. විශේෂයෙන්ම ත‍්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් සිදුකළ කැපකිරීම් හා මෙහෙවර මුළු මහත් ජනතාවම කෘතඥතා පූර්වකව සිහිපත් කරනු ඇතැයි මම සිතමි. මාතෘ භූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් භක්ත්‍යාදරයෙන් සිහිපත් කරන අතර, ඔවුන්හට නිවන් සුව ප‍්‍රාර්ථනා කරමි. එමෙන්ම, යුද්ධයේදී රණක්‍ෂිතයට පත්ව තවමත් ප‍්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවායිද ප‍්‍රාර්ථනා කරමි.
පසුගිය සමයේදි රටෙහි නිර්මාණය වූ නොසන්සුන්කාරි වාතාවරණය සමනය කිරීමේදී ඔබ දැක්වූ දායකත්වය අගය කොට සලකන අතර, ඒ තුළින් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනය ගරුකබව හා වෘත්තීයමයභාවය සමස්ත රටවැසියන්ට මෙන්ම ජාත්‍යන්තරයට පවා පෙන්නුම් කිරීමට හැකිවිය. තවදුරටත් ඔබ වෙත පැවරෙන වගකීම් මනාව ඉටුකිරීම සඳහා වෘත්තිය නිපුණත්වය, අභිමානවත් ආකල්පවලින් පෝෂණයවීම සහ මනා විනයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බවත්, නිපුණත්වයෙන් පිරි සෙබලුන් පිරිසක් නිර්මාණය කිරීම යුද්ධ හමුදාධිපති වන මාගේ අරමුණ බවත් සඳහන් කරමි. යුද්ධ හමුදාවට මුහුණදීමට සිදුවූ සෑම අභියෝගයක්ම සමගිය ශක්තියක් කරගනිමින් සාර්ථකව ජයගෙන ඇති බවත් ඉදිරියේදිත් රණවිරු ඔබ ඒ අයුරින්ම කැපවීමෙන් සහ සහයෝගයෙන් රාජකාරි ඉටුකිරීම ඉතා වැදගත් බවත් පෙන්වා දෙමි. රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවට එරෙහිව පැමිණෙන තර්ජනයන් මැඩපවත්වමින් මෙරට පාලනය වන උත්තරීතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය ආරක්‍ෂා කරමින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප‍්‍රමුඛතම වගකීම බව සිහිතබා ගත යුතුය. එහිදී යුද්ධ හමුදාව කෙරෙහි මහජනතාව තුළ පවතින ප‍්‍රසාදය රැකගනිමින් කටයුතු කිරීම ඔබ සැමගේ වගකීමක් බවද මම අවධාරණය කරමි.
පසුගිය සමයේ විවිධ අභියෝග පැවතියත්, යුද්ධ හමුදාවේ කාලානුරූපව සිදුවිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් හා යුද්ධ හමුදාවේත්, යුද්ධ හමුදා සාමාජිකයින්ගේත් ඉදිරි ප‍්‍රගමනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් පසුගිය සමයේදි ක්‍රියාත්මක කිරීමට හැකිවූ බවත් සිහිපත් කරමි. සියලූම යුද්ධ හමුදා රණවිරුවන්ගේත් රණවිරු පවුල්වලත් සිවිල් කාර්ය මණ්ඩලයේත් අභිවෘද්ධිය වෙනුවෙන් සුභසාධක ව්‍යපෘති ගණනාවක් ක‍්‍රියාත්මක කරන ලදි. සෑම යුද්ධ හමුදා රණවිරුවෙකුම තමාගේ නිවසක හිමිකරුවෙකු කිරීම සඳහා වැඩි අවධානයක් යොමුකරන ලදි. එසේම, රෙජිමේන්තු මධ්‍යස්ථාන, බළඇණි, පුහුණු පාසල් ඇතුළු සෑම යුද්ධ හමුදා කඳවුරකම යටිතල පහසුකම් හා සෙබළාගේ වෘත්තීය ගරුත්වය ආරක්‍ෂාවන අයුරින් සංවර්ධනය කිරීමට ප‍්‍රමුඛ අවධානයක් යොමුකර තිබෙන බවත් සිහිපත් කරමි.
වීරෝදාර රණවිරුවනි ‘‘රටේත් එහි වාසය කරන ජනතාවගේත් ආරක්‍ෂකයා’’ වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පැවරෙන වගකීම් හා අභියෝගයන් සාර්ථකව ජයගැනීම සඳහා අප නිරන්තරයෙන් බැදී සිටින බව සිහි තබා ගත යුතුයි. එසේම යුද්ධ හමුදාවේ කීර්තිනාමය හා ගෞරවය ආරක්‍ෂා කරගනිමින් ඔබට පැවරෙන වගකීම් විනයගරුකව හා වගකීමෙන් යුතුව නොපිරිහෙලා ඉටුකරන ලෙසත්, රාජ්‍ය සම්පත් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් හා කළමනාකාරිත්වයකින් යුතුව පරිහරණය කරන ලෙසත් මම ඔබට සිහිපත් කරමි. අවසන් වශයෙන්, යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සියලුම රණවිරුවන්ටත්, සිවිල් කාර්ය මණ්ඩලයටත්, සියලුම පවුල්වල ආදරණීය සාමාජිකයින්ටත්, 2023 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි ඉසුරුමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි ප‍්‍රාර්ථනා කරමි.
ඔබ සැමට තෙරුවන් සරණයි !!
එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ
ලුතිනන් ජෙනරල්
යුද්ධ හමුදාධිපති