Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2023 22:25:46 Hours

යුද විරුවන් දෙපළකගේ භාර්යාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ගෞරවාදරයට

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් නිර්භීත සහ දේශප්‍රේමීත්වයෙන් යුත් යුද්ධ හමුදා ප්‍රවීණයන් ලෙස ජාතියේ ප්‍රශංසාවට හා ගෞරවාදරයට පාත්‍ර වූ අමරණීය රණවිරුවන් වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ භාර්යාව වන ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ භාර්යාව වන මානෙල් විමලරත්න මහත්මිය වෙත අද (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කරනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එම වීරෝදාර රණවිරුවන්ගේ භාර්යාවන් දෙපළ යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකි ලියනගේ මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, ඔවුන්ගේ ආදරණීය ස්වාමිපුර්ෂයන් පිළිබඳ මතකයන් යළි සිහිපත් කර ඔවුන්ගේ සුවදුක් පිළිබඳව ද විමසා බැලීය.

මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණය වෙනුවෙන් පාබල හමුදා ඒකකයක් ලෙස අනුපමේය සේවයක් ඉටුකරනු ලැබූ ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ගෞරවාචාරය පුදකිරීම මෙන්ම කීර්තිමත් හමුදා නායකයෙකු වශයෙන් කටයුතු කළ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත උපහාර දැක්වීම ද මෙහිදී සිදුකෙරිණි.

යුද්ධ හමුදාධිපති සම්මන්ත්‍රණ ශාලාවේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙත ජුකී යන්ත්‍ර සහ පාසල් ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න මහත්මිය වෙත ආරාධනා කරනු ලැබිණි. එහිදී, දිවංගත රණවිරුවන් දෙදෙනාගේ නිර්භීත මතකයන් යලි ආවර්ජනය කරමින් සැකසූ වීඩියෝපට දෙකක් ද ප්‍රදර්ශනය කෙරිණි.

ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න මහත්මිය වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කළේය. පසුව, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහන් තැබීමට ඔවුන් දෙපළ වෙත ආරාධනා කෙරිණි.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ඔවුන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකි ලියනගේ මහත්මිය සමඟින් දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වූවාය.

මෙම අවස්ථාව සඳහා යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ද සහභාගී වූහ.