Header

Sri Lanka Army

Defender of the Nation

04th May 2023 19:39:58 Hours

සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි (Air Chief Marshal Vivek Ram Chaudhari) බදාදා (03) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් එතුමන් වෙත හදුන්වාදෙනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානයේ සිදුකළ සංචාරය සිහිවනු වස් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි සමඟ සමූහ ඡායාරූපයකට එක්වූහ. අනතුරුව එතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති සුහද හමුව සඳහා සහභාගී විය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවති සුහද හමුවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ ඉන්දීය ගුවන් හමුදාවට වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු සහ ඒ ආශ්‍රිත ගැටලු පිළිබඳව ද අවධානය යොමු කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සටහනක් ද තැබීය.

යුද්ධ හමුදා මූලස්ථානයේ සිදුකරනු ලැබූ සංචාරය අවසානයේ එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවති සුහද හමුව සඳහා යුධ සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් විකාස් සූඩ් (Captain Vikas Sood) සහ දූත පිරිසේ නියෝජිතයන් කීපදෙනෙකු ද සහභාගී වූහ.