Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2023 13:52:28 Hours

යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපයේ සමාරම්භය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින්

ජාතික වෙසක් සතිය වර්ණවත් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් එක්ව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපය විවෘත කරනු ලැබීය.

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල පරිශ්‍රය අසලට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය දක්වා වර්ණවත්ව නිර්මාණය කර ඇති වෙසක් කලාපයේ වෙසක් සැරසිලිවල විදුලි පහන් දල්වා එම වෙසක් කලාපයේ සමාරම්භය සනිටුහන් කළේය.

යුද්ධ හමුදා වෙසක් කලාපය, යුද්ධ හමුදා මූලස්ථානයේ සහ රෙජිමේන්තුවල විවිධ ශාඛාවන්හි යුද්ධ හමුදා සාමාජිකයන් විසින් නිර්මාණය කරනු ලැබූ කැරකෙන කූඩු 14 කින් සහ අටපට්ටම් 700 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සලක් ද සංවිධානය කරන ලදී.

වෙසක් කලාපයේ සංචාරය කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මූලස්ථානය ඉදිරිපිට පැවති භක්ති ගීත වැඩසටහනට සහභාගී වූ අතර එහිදී යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම නිර්මාණයන් සිදුකිරීම සඳහා දැක්වූ කැපවීම ඇගයීමට ලක්කළේය.

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ගායන ශිල්පීන් කණ්ඩායම් දෙකක් සමඟින් වෙසක් සතිය තුළ කොළඹ වෙසක් කලාප 9 තුළම සංචාරය කිරීමට නියමිත ජංගම ‘භක්ති ගී’ සංදර්ශනයක් ද සංවිධානය කර ඇත.

යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපයේ සමාරම්භක අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.