Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2023 20:47:45 Hours

වනයේ අතරමං වූ සිවිල් වැසියන් මුදාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් 2023 මැයි මස 9 දින ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ මඩුවන්කුලම් සහ පූනෙයි-ආරු කැළෑවේ අතරමං වූ සිවිල් වැසියන් හතර දෙනෙකු බේරාගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ මෙහෙයුමක් දියත් කර ඔවුන් බේරාගැනීමට කටයුතු කළේය.

අතරමංව ඇති කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් පිරිස පසුගිය සඳුදා (08) දින සන්ධ්‍යාවේ දර සහ පලු පළතුරු කැඩීම සඳහා එම කැළෑබද ප්‍රදේශය වෙත ගොස් ඇති අතර සන්ධ්‍යාවේ පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු වනයේ අතරමං වී ඇත.

සිදුවීම පිළිබඳ කුඹුරුපිඩ්ඩි පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව අතරමං වූ පිරිස මුදාගැනීම සඳහා එම පොලිස් ස්ථානය වෙතින් 221 පාබල බලසේනා මූලස්ථානයේ සහය ඉල්ලා සිටිනු ලැබීය. ඒ අනුව, 17 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ගම්වාසීන්ගේ සහයෝගය ඇතිව එදින සන්ධ්‍යාවේ මෙම මෙහෙයුම දියත් කරනු ලැබිණී.

එදින රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පැය කිහිපයක් ඇතුළත අතුරුදන් වූ කාන්තාවන් තිදෙනා සහ පිරිමි පුද්ගලයා සොයාගැනීමට හැකි වූ අතර අඟහරුවාදා (09) දින අලුයම ඔවුන් නිරූපද්‍රිතව සිය ගම්මානය වෙත රැගෙන එනු ලැබීය.

එම පුද්ගලයන් පවුල්වල සාමාජිකයන් වෙත භාරදීමෙන් අනතුරුව අදාළ මෙහෙයුම දියත් කිරීම සඳහා යුද්ධ හමුදා‍ සාමාජිකයන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔවුන්ගේ ස්තූතිය යුද්ධ හමුදා සාමාජිකයන් වෙත පුදකළහ.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ 221 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්වීම මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.