Header

Sri Lanka Army

Defender of the Nation

12th May 2023 19:00:30 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් සිය පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉකුත් සිකුරාදා (11) දින හමුවිය.

මෙම සුහද හමුවේදී, අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් විනයාරක්‍ෂක නිලධාරියෙකු ලෙස සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ කැපවීමෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ සේවය වෙනුවෙන් ප්‍රශංසා කළේය.

2009 මැයි මාසයට පෙර කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානූෂීය මෙහෙයුමේදි වගකීම් සහිත පොලිස් හේවා බලකායේ නිලධාරියෙකු ලෙස ඉටුකරනු ලැබු සේවය සහ දැක්වූ දායකත්වය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් ලෙස සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් මගපෙන්වීම වෙනුවෙන් එතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන්ගේ පවුලේ සාමාජිකයින් සමඟින් පැවති සුහඳ පිළිසඳරේදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළ අතර, එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්ද සිය සුභාශිංෂනයන් එක්කළේය.

මෙම සුහඳ හමුව අවසානයේ, මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය. එහිදී මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

වර්ෂ 1988 ඔක්තෝබර් මස 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 32 - B යටතේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අනුයුක්ත කරනු ලැබු අතර, ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 සැප්තැම්බර් 14 වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් යන ධූරයන්හි රාජකාරි හොබවයි. මීට ප්‍රථම එතුමන්, 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා ක්‍ෂේත්‍ර විනයාරක්‍ෂක කණ්ඩායමේ විනයාරක්‍ෂක නිලධාරි, 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ විධායක අධිකාරී, නිලධාරි අණදෙන, විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 2, 513 වන පාබල බලසේනාවේ මේජර් පාලන සහ භටකාර්ය සම්පාදක නිලධාරී, 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරී, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථාන ශ්‍රී ලංකා බලඇණියේ විනයාරක්‍ෂක ඒකකයේ නිලධාරි අණදෙන, ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මාණ්ඩලික නිලධාරි 1, 2 වන 3 වන සහ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවන්හි අණදෙන නිලධාරී, පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථාන පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් (පාලන), ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථායේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂාධිපති වැනි ධූරයන් හොබවා ඇත.

මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් තරුණ නිලධාරී පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, ජ්‍යෙෂ්ඨ රහස් පරීක්‍ෂක ඩිප්ලෝමා පාඨමාලාව, විනයාරක්‍ෂක නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, නිලධාරීන්ගේ අපරාධ විමර්ශන පාඨමාලාව - පාකිස්තානය, ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව ඇතුළු බොහෝ දේශීය හා විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇත.