Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2023 16:39:08 Hours

ජාතික රණවිරු දිනය සැමරීමට සියළු කටයුතු සූදානම්

කුරිරු යුද්ධයේදී මාතෘභූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා යුද්ධ හමුදා සාමාජිකයන් (23,962), නාවික හමුදා සාමාජිකයන් (1160), ගුවන් හමුදා සාමාජිකයන් (443), පොලිස් නිලධාරීන් 2598 ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 456 දෙනෙක් ඇතුළු 28,619 ක් පමණ දේශප්‍රේමී වීරෝදාර රණවිරුවන් සිය ජීවීත පූජා කරමින් වර්ෂ 2009 ක් වූ මැයි මස 18 දින සන්ධ්‍යාවේ නන්දිකඩාල් කලපුවේදී කුරිරු එල්ටිටිඊ ත්‍රස්තවාදයට නැවතීමේ තිත තබන්නට සමත්වූහ. වසර 35 කට අධික කාලයක් සමස්ථ ජාතියටම පීඩාවක් වූ කුරිරු ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගෙන 2023 මැයි මස 18 දිනට වසර 14 ක් සපිරේ.

සමස්ථ ජාතීයේම ආරක්‍ෂාව වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡ ක්‍රියාවලියට එරෙහිව අභීතව සටන්වැදුනු දැයේ පිනට පහලවු වීරෝදාර රණවිරුවන් 24,814 දෙනෙක් රණක්‍ෂිතයට පත්වූහ. සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ ඔවුන්ගෙන් සමහරක් තවමත් සුවය ලබමින් සහ පුනරුත්ථාපනය වෙමින් යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන සුවතා නිකේතනවල නේවාසිකව සිටිති.

රජය සෑම වසරකම මැයි මස 19 දින යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ අමරණීය මතකයන් සිහිපත් කිරීමේ අරමුණ පෙරදැරිව රාජ්‍ය උත්සවයක් පවත්වමින් ජාතික රණවිරු දිනය හෙවත් ‘විජයග්‍රහණ දිනය’ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී උත්කර්ෂවත් ලෙස සමරණු ලබයි.

අතිගරු ජනාධිපතිතුමන්, ගරු අමාත්‍යවරුන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පතිතුමන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්, දිවංගත වීරෝදාර රණවිරුවන්ගේ දෙමාපියන්, දූ දරුවන්, මහජනතාව, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් සිකුරාදා (මැයි මස 19) දින වීරෝදාර රණවිරුවන්ගේ මතකයන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකිරීමට සූදානම්ව ඇත.