Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2023 21:43:15 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එල්.එස්. බාලචන්ද්‍ර ආර්එස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන නෙළුම් පොකුණ රඟහලේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එල්.එස්. බාලචන්ද්‍ර ආර්එස්පී පසුගිය සඳුදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. එම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් එල්.එස්. බාලචන්ද්‍ර ආර්එස්පී ගේ පවුලේ සාමාජිකයන් ද සහභාගී වූහ.

මෙම සුහද හමුවේදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් කැපවීමෙන් සහ පරාර්ථකාමීව විවිධ වගකීම් ඉටුකරමින් යුද්ධ හමුදාව වෙනුවෙන් ලබාදුන් සිය වටිනා සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේ පාබල හමුදා නිලධාරියෙකු ලෙස සිදුකරනු ලැබූ අමිල කැපකිරීම සහ කාර්යභාරය පිළිබඳව ද මෙහිදී මතකාවර්ජනය කරනු ලැබීය.

වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන මේජර් ජෙනරල් එල්.එස්. බාලචන්ද්‍ර ආර්එස්පී වෙත මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ මෙන්ම නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී ධූරය හොබවන කාලසීමාවේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද එතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකරනු ලැබීය.

මෙම අවස්ථාවේදී, මේජර් ජෙනරල් එල්.එස්. බාලචන්ද්‍ර ආර්එස්පී ගේ පවුලේ සාමාජිකයන් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුබපැතුම් එක්කළේය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව මාතෘභූමිය ආරක්‍ෂා කිරීමේ ඒකායන බලාපොරොත්තුවෙන් සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේ නිරතව සිටියදී එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය පවුලේ සාමාජිකයන් වෙත ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුම් හිමිවිය.

මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක් පිරිනමනු ලැබීය.

වර්ෂ 1987 ජූලි මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු මේජර් ජෙනරල් එල්.එස්. බාලචන්ද්‍ර ආර්එස්පී පාඨමාලා අංක - 29 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් මූලික පුහුණුව හදාරා එම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ගජබා රෙජිමේන්තුවටත් ඉන් පසුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවටත් අනුයුක්ත කරන ලදී. එතුමන් 2023 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම ලබන විට එතුමන් නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී ධූරය හොබවමින් සිටියේය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ ඛණ්ඩභාර නිලධාරි, කණ්ඩායම් භාර නිලධාරි, යුද්ධ හමුදා පුහුණු පාසලේ නිලධාරි උපදේශක, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ බලඝණ අණදෙන නිලධාරී, 534 පාබල බලසේනාවේ බලසේනා මේජර්, 21 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි II (සැපයුම් සහ නඩත්තු), 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කාර්යයේ නියුතු මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරි I, 55 පාබල සේනාංකයේ කර්නල් (මණ්ඩලික ප්‍රධානි), 653 පාබල බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති සහ යාන්ත්‍රික පාබල බලසේනාවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හෙබවූවේය.

මානුෂීය මෙහෙයුමේදී එතුමන් දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් වෙත ‘රණ ශූර පදක්කම’ පිරිනමා ඇත.

මේජර් ජෙනරල් එල්.එස් බාලචන්ද්‍ර ආර්එස්පී සිය යුද්ධ හමුදා දිවිය තුළ ඛණ්ඩභාර නිලධාරි පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, විශේෂ ක්‍රියාන්විත ඛණ්ඩ පාඨමාලාව, තරුණ නිලධාරි පාඨමාලාව (පකිස්ථානය), කනිෂ්ඨ අණදෙන පාඨමාලාව (ඉන්දියාව), එක්සත් ජාතීන්ගේ බලඇණි නිලධාරි පාඨමාලාව (ඉන්දියාව) සහ පාබල අණදෙන නිලධාරි පාඨමාලාව (චීනය) වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.