Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2023 15:03:26 Hours

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී අතරතුරදී වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය ඇටවුමක් පුපුරා යාමෙන් ශ්‍රී ලාංකික භටයන් හතර දෙනෙකු සුළු තුවාල ලබයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය යටතේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින්හි නිරතව සිටින ශ්‍රී ලාංකික යුද්ධ හමුදා සාමාජිකයන් හතරදෙනෙකු ඉකුත් ඉරිදා (21) දින මාලි රාජ්‍යයේ භඨකාර්ය සම්පාදන රථ පෙළකට ආරක්‍ෂාව සපයමින් සිටියදී වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය ඇටවුමක් පුපුරා යාම හේතුවෙන් සුළු තුවාල ලබා ඇත.

මාලි රාජ්‍යයේ කිඩාල් ප්‍රදේශයේ ටෙසාලිට් හි ඔවුන්ගේ කඳවුරේ සිට කිලෝමීටර් 15 ක් පමණ වයඹ දෙසින් මෙම පිපිරීම සිදුවී තිබෙන අතර, තුවාල ලැබූවන් මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා සාමසාධක බලඇණියේ අණදෙන නිලධාරී කර්නල් ජේ.එම්.ඩී.එන්.සී. ජයමහ සඳහන් කළ පරිදි භාණ්ඩ ප්‍රවාහන රථ පෙළපාලියකට ආරක්‍ෂාව සපයමින් සිටියදී මෙම පිපිරීම සිදුවී ඇත.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ (General Antonio Guterres) ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් (Stephane Dujarric) ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකික සාමසාධක හමුදාව අවට ප්‍රදේශයේ හදිසි පරීක්‍ෂාකිරීමක නිරතව සිටියදී ටෙසාලිට් කඳවුරට කිලෝ මීටර් 32 පමණ දුරින් පිහිටි ප්‍රදේශයේදී රථ පෙළපාලියක් ඉලක්ක කර තිබු වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය සහිත ඇටවුමක් හඳුනාගෙන එය සාර්ථකව නිශ්ක්‍රිය කර ඇති අතර වැඩිදුරටත් පරික්‍ෂා කිරිමේදී ඒ ආසන්නයේ තිබූ තවත් වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය සහිත ඇටවුමක් හඳුනාගෙන එයද සාර්ථකව නිශ්ක්‍රිය කළ බවයි. මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය ආරම්භ කර මේ වනවිට වසර නවයක් ගත වී ඇති බවත් මෙම කාලසීමාව තුළ මාරාන්තිකම යුද ගැටුම් වාර්ථා වී ඇත්තේ 2022 වර්ෂයේ වන අතර එම ගැටුම් හේතුවෙන් මරණ 14 ක් වාර්තා වූ බවත් එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය මෙම වසර ආරම්භයේදී සිදුකළ ප්‍රකාශයක සඳහන් වේ.