Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2023 20:32:30 Hours

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකයින් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ධූරයෙන් නික්ම යාමට නියමිත කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ කර්නල් පෝල් ක්ලේටන් (Colonel Paul Clayton) සහ එම ධූරයට පත් වීමට සිටින බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ කර්නල් ඩැරන් වුඩ්ස් (Colonel Darren Woods) පසුගිය බ්‍රහස්පතින්දා (01) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් සිය ධූර කාලය තුළ දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදා සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා කළ කැපවීම වෙනුවෙන් ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක උපදේශක වෙත සිය කෘතවේදීත්වය පුද කළ අතර, නවතමයෙන් එම ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත ආරක්‍ෂක උපදේශකතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

දෙරටේ ත්‍රිවිධ හමුදාවන් අතර පවතින සුහදතාවය, සහයෝගීතාව සහ අවබෝධය පිළිබඳ සබඳතා සිහිපත් කරමින් ද්විපාර්ශවීය වැදගත් වන පොදු කරුණු පිළිබද මෙම සුහද හමුවේදී සාකච්ඡා කළහ. එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව මෙන්ම විවිධ පුහුණු වැඩසටහන් සඳහා දෙරටේ ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වය ඉහලනංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී මෙරට සරඹ උපදේශකයින් සඳහා බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ සරඹ උපදේශක විශේෂඥයින් විසින් මූලික සරඹ උපදේශක පාඨමාලාව සඳහා ලබාදුන් පුහුණුව පිළිබඳ ද සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නික්ම යන ආරක්‍ෂක උපදේශකතුමන් වෙත විශේෂ ස්තුතිය පුද කළේය.

තම ධුර කාලය තුළ මෙරට යුද්ධ හමුදාව ලබා දුන් සහයෝගීතාවය සහ සුහදතාවය පිළිබඳව බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ කර්නල් පෝල් ක්ලේටන් (Colonel Paul Clayton) සිය කෘතවේදීත්වය පුද කළේය.

මෙම සුහද හමුව සමාප්තියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදතාවය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ධූරයෙන් නික්ම යාමට නියමිත සහ නවතමයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලබන ආරක්‍ෂක උපදේශකයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.