Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2023 21:55:21 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ භඨකාර්ය සම්පාදක නිලධාරීගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ඊ.පී වීරසිංහ වීඑස්වී යූඑස්පී ඒටීඕ සිය පවුලේ සාමාජිකයන් සමග යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව සිකුරාදා (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා යුධෝපකරණ බලකායෙහි දක්‍ෂ නිලධාරියෙකු ලෙස එතුමන්ගේ වෘත්තීය දිවියේ කැපී පෙනෙන සහ ප්‍රශංසනීය සන්ධිස්ථානයන් සිහිපත් කරමින්, යුද්ධ හමුදා සේවා කාලය තුළ කැපවීමෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රශංසාවට ලක් කළේය.

2009 මැයි මාසයට පෙර කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානූෂීය මෙහෙයුමේදි වගකීම් සහිත භඨකාර්ය සම්පාදක නිලධාරීයෙකු ලෙස ඉටුකරනු ලැබු සේවය සහ දැක්වූ දායකත්වය පිළිබඳව ද එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ඊ.පී වීරසිංහ වීඑස්වී යූඑස්පී ඒටීඕ සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවට පැමිණ සිටි මේජර් ජෙනරල් එම්.ඊ.පී වීරසිංහ වීඑස්වී යූඑස්පී ඒටීඕ ගේ දරුවන් සමඟින් සුහඳව අදහස් හුවමාරුකරගත් අතර, එහිදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ඉදිරි අනාගත කටයුතු සහ සැලසුම් පිළිබඳව ද විමසා සිටියේය.

මෙම සුහඳ හමුව අවසානයේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ දරුවන්ට වෙතද විශේෂ ත්‍යාගයන් ප්‍රදානය කළේය.

වර්ෂ 1988 ඔක්තෝබර් මස 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් එම්.ඊ.පී වීරසිංහ වීඑස්වී යූඑස්පී ඒටීඕ, රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය වෙතින් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 06 - යටතේ සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණු පාඨමාලාවන් සාර්ථකව නිම කිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව 1990 ඔක්තෝබර් මස 05 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය වෙත අනුයුක්ත කරනු ලැබීය. එතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 14 වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම දිවියට එළබෙන විට ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති යන තනතුරු හොබවනු ලැබීය. එතුමන් 211 පාබල බලසේනා මූලස්ථානයේ අභ්‍යන්තර ආරක්‍ෂක බලඇණියේ කණ්ඩායම් අණදෙන නිලධාරි, මහනුවර ඉදිරි යුධෝපකරණ ගබඩාවේ අණදෙන නිලධාරී, මින්නේරිය උසස් යුධෝපකරණ කඳවුරු ගබඩාවේ දෙවන අණදෙන නිලධාරී, මඩකලපුව ඉදිරි යුධෝපකරණ කඳවුරු ගබඩාවේ අණදෙන නිලධාරී, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ විධායක අධිකාරී, 55 පාබල සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ යුධෝපකරණ නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂක කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි 2 (වරාය අංශය), යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 2 (විදේශීය ඇණවුම් ශාඛාව), යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී 2, හයිටි රාජ්‍යයෙහි බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ භඨකාර්ය සම්පාදන නිලධාරී, 1 යුධෝපකරණ බලකායේ කුවිතාන්සි අංශයේ නිලධාරී අණදෙන, 3 යුධෝපකරණ බලකායේ දෙවන අණදෙන නිලධාරි, 61 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන සහ භඨකාර්ය සම්පාදන), 5 යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1 (ප්‍රතිපාදන, ප්‍රසම්පාදන සහ ප්‍රගති ශාඛාව), 59 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදන), ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදන), ආරක්‍ෂක මූලස්ථානයේ ප්‍රසම්පාදන අධ්‍යක්‍ෂ, මධ්‍යම අවි සහ පතොරම් ගබඩාවේ සේනාවිධායක, ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් (පාලන සහ භඨකාර්ය සම්පාදන), යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ , ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය යන තනතුරු හොඹවන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ කණ්ඩායම් අණදෙන නිලධාරීන්ගේ උපක්‍රම පිළිබඳ පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, නිලධාරීන්ගේ විශිෂ්ඨත්ව පාඨමාලාව, මූලික යුධෝපකරණ කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව, ගිනි නිවීමේ ඒකක නිලධාරීන්ගේ පාඨමාලාව - පකිස්ථානය, පතොරම් පිළිබඳ තාක්‍ෂණික නිලධාරීන්ගේ පාඨමාලාව - පකිස්ථානය, ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ භඨකාර්ය සම්පාදක නිලධාරීන්ගේ පාඨමාලාව - නේපාලය සහ උසස් යුධෝපකරණ කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව වැනි දේශීය හා විදේශීය පාඨමාලා රැසක් ද සාර්ථකව හදාරා ඇත.

එතුමන් කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ මැලේසියාවේ ආසියා ඊ විශ්ව විද්‍යාලයේ සැපයුම් කළමනාකරණය පිළිබඳ විධායක ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.