Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2023 11:56:16 Hours

75 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරේ

මවුබිමේ සෞභාග්‍යය, සාමය, සංහිඳියාව සහ දීර්ඝ කාලීන ස්ථාවරත්වය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ අධීෂ්ඨානශීලී කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (04) දින උදෑසන ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික පූජකවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යවරුන්, ආරක්‍ෂක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය හා සිවිල් සම්භාවනීය අමුත්තන් සහ තවත් ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.

75 වන ජාතික නිදහස් සැමරුම් උත්සව පරිශ්‍රය වෙත ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ පැමිණීමෙන් සුළු මොහොතකට පසුව උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මෙම අවස්ථාවට සම්ප්‍රාප්ත විය. අගවිනිසුරු, කථානායක, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පතිතුමන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (04) දින උදෑසන 07.45 ට උත්සවයේ ආරම්භය සනිටුහන් විය.

වත්මන් ආර්ථික සහ බහුවිධ ගෝලීය බාධාවන් මධ්‍යයේ වුවද ජාතියට එල්ල වන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් සරල, සංක්‍ෂිප්ත බව සහ වර්ණවත් බව පෙන්නුම් කරමින් මෙවර නිදහස් දින සැමරුම අභිමානවත් අයුරින් පවත්වන ලදී.

උත්සව පරිශ්‍රය වෙත අශ්වාරෝහකයන් සහ පොලිස් නිලධාරින් පෙරටුකරගත් වර්ණවත් පෙළපාලියකින් සපැමිණි අතිගරු ජනාධිපතිතුන්, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යතුමන් විසින් උණූසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ පොලිස්පති විසින් අතිගරු ජනාධිපතිතුමන් ධජ එසවීමේ පිඨිකාව වෙත කැටුව යෑමෙන් අනතුරුව මඟුල් බෙර වාදන සහ සංඛ නාද මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන් ජාතික ධජය එසවීය. විවිධ සංස්කෘතික ආචාර ධර්මයන්ගෙන් යුත් බස්නාහිර පළාතේ පාසල් සිසුවියන් විසින් ජාතික ගීතය ගායනා කරමින් ස්වාධීන ජාතියක් ලෙස අභිමානවත් සහ දේශප්‍රේමී හදවත් ඇති බව තවදුරටත් පිළිබිඹූ කරන ලදී.

පාසල් සිසුවියන් කණ්ඩායමක් විසින් ‘ජයමංගල ගාථා’ සහ ‘දේවෝ වස්සතු කාලේන’ ශ්ලෝකය ගායනා කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද කළහ. පසුව, මව්බිම සහ ජාතිය ආරක්‍ෂා කිරීමේ උදාර අරමුණ පෙරදැරීව රට වෙනුවෙන් දිවිපිදූ සියලු දේශප්‍රේමීන් සහ විරෝදාර රණවීරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය.

න්‍යායපත්‍රානුකූලව ඉන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් චාරිත්‍රානුකූලව කාලතුවක්කු වෙඩි මුර 21 ක් ගුවනට මුසුකරමින් ත්‍රිවිධ හමුදා සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා වෙත පුද කරනු ලැබීය.

පසුව, ත්‍රිවිධ හමුදා නිලධාරින්, සෙසුනිලයන්, පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්, සිවිල් ආරක්‍ෂක බළකායේ සාමාජිකයින්, ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින් සහ සේවයේ නිරතව සිටින, විශ්‍රාමික සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගෙන් සැදුම්ලත් වර්ණවත් පෙළපාලියේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන ආචාර පෙළපාලියේ ඉදිරි වැඩකටයුතු කරගෙන යෑම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගෙන් අවසර ලබාගන්නා ලදී.

75 වන නිදහස් දින පෙළපාලියේ අභිමානවත් බව තවදුරටත් පිළිබිඹු කරමින් එම පෙළපාලිය සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ගොඩබිමෙහි මෙන්ම ජලයේ ද සිදුකරනු ලබන ක්‍රියාන්විතයන් සඳහා භාවිතා කරනු ලබන සන්නද්ධ රථ රැසක් එක්කර තිබිණි. මවුබිමේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අතිවිශාල හා අද්විතීය දායකත්වය අඛණ්ඩව ලබාදීම සහ යුද්ධ හමුදාව වෙතින් ඉටුකරනු ලබන අපරිමිත සේවය පිළිබඳව මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාගේ පැසසුමට ලක්විය.

75 වන නිදහස් දින පෙළපාලියේ සමාප්තිය සනිටුහන් කරමින් ගුවන් හමුදාවේ ගුවන් භටයින් සහ සැහැල්ලු ගුවන් යානාවල සහය ඇතිව යුද්ධ හමුදා කමාන්ඩෝ බලකාය, විශේෂ බලකාය ඇතුළු ත්‍රිවිධ හමුදා පැරෂුට් භටයින්ගෙන් සැදුම්ලත් ප්‍රදර්ශනයක් පැවැත්විණි.

පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකා සාමාජිකයින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සෙබළුන් 6877 දෙනෙකු නිල ඇඳුමින් සැරසී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත සිය ගෞරවාචාරයන් පුදකළ අතර නිදහස් දින උත්සවය වර්ණවත් කිරීම සඳහා පාසල් සිසු සිසුවියන් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින් ද සිය දායකත්වය දැක්වූහ. උත්සවය සමාප්තියේ සියලු ආගම් නියෝජනය කරනු ලබන සිසු සිසුවියන් ජාතික ගීතය දමිළ බසින් ගායනා කරනු ලැබූහ.

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ භටපිරිස් විසින් චෛත්‍ය පාරේ, ප්‍රදීපාගාරය අසලදී මධ්‍යහන 12.00 ට වෙඩිමුර 25 ක් තබමින් ජාතියට උත්තමාචාරය පුදකළහ. නිදහස් දින සැමරුමට සමගාමීව බෞද්ධ ආගමික වතාවත්, හින්දු ආගමික වතාවත්, ඉස්ලාමීය යාඥාවන්, කතෝලික සහ ක්‍රිස්තියානි දේව මෙහෙයන් ද කොළඹ ප්‍රදේශයේ පූජ්‍යස්ථානයන්හිදී පැවැත්විණි. පසුගිය සිකුරාදා (03) දින සන්ද්‍යාවේ නිදහස් චතුරස්‍ර ශාලාවේදී නිදහස් දිනයට සමගාමීව පැවති වර්ණවත් සංස්කෘතික සන්දර්ශනයක් ද පැවැත්විණි. අතිගරු ජනාධිපතිතුමන් අද (04) දින පස්වරු 6.45 ට ජාතිය ආමන්ත්‍රණය කිරීමට නියමිතව ඇත.