Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2023 20:34:39 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 141 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත වේයන්ගොඩ, දඩගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 130 දෙනෙකු වෙත රුපියල් 488,000.00 (රුපියල් හාර ලක්‍ෂ අසූ අට දහසක) වටිනාකමකින් යුත් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් 2023 ජනවාරි මස 24 දින ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ලබාදුන් උපදෙස් මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න ගේ මගපෙන්වීම සහ 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් ගේ අධීක්‍ෂණය යටතේ 141 වන පාබල බලසේනාවේ සහ 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් වෙත මෙම පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන පවත්වන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න සහභාගී වූ අතර, මෙම උත්සව අවස්ථාව සඳහා 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, කලාප අධ්‍යාපන නිලධාරින්, පාසලේ විදුහල්පතිතුමන්, ගුරුභවතුන්, සිසුසිසුවියන් සහ පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.