18th January 2023 18:20:47 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර පසුගිය 13 සහ14 යන දෙදින තුල ගල්කන්ද සහ අරලගංවිල පිහිටි 3 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකා කඳවුරෙහි සහ යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපළවල්හි නිල සංචාරයක නිරත විය.
3 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර වෙත එම බලකායෙහි භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව ඒකක අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් බී.එම්.ටී.ඒ බැද්දේවෙල විසින් එතුමන් ඉතා උණුසුම් ලෙස පිලිගන්නා ලදී.
සංචාරය අතරතුරදී මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර විසින් 3 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භටපිරිස් යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව සමඟ එක්ව සංවිධානය කරන ලද දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන භටපිරිස් සහ සිවිල් සේවක මහතුන් වෙත පාසල් පොත්, වියළි ආහාර සලාක ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් ප්‍රදානය කිරීමේ සමාජ සත්කාරක වැඩ සටහනක් සඳහාද සහභාගී විය.
එහිදී, එතුමන් 3 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මගින් පාලනය වන කන්දකාඩු ගොවිපොළෙහි සංචාරයේ නිරත වූ අතර, එහිදී යුද්ධ හමුදා භටපිරිස් සිටින භට නිවාස, මහා පරිමාණ වශයෙන් සිදුකරන පොල් වගාව, මිරිස්, අඹ සහ වී වගා ව්‍යාපෘති සහ ක්‍රියාත්මක වෙමින් පවතින යෝජිත වාරිමාර්ග පද්ධතියේ ඉදිකිරීම් පිළිබඳවද නිරීක්‍ෂණය කල අතර, යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය සඳහා භටපිරිස්හි කැපවීම අගය කරමින් ඔවුන් වෙත සිය කෘතවේදීත්වය පුද කළේය.
සංචාරයේ අවසන් දින අරලගංවිල යුද්ධ හමුදා ආදර්ශ ගොවිපොළෙහි සංචාරයේ නිරත වූ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සටහන් කිහිපයක්ද තැබීය.