Header

Sri Lanka Army

Defender of the Nation

18th January 2023 05:16:37 Hours

10 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි මූල්‍ය අනුග්‍රහයෙන් ආබාධිත හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සඳහා අංග සම්පූර්ණ වැසිකිලි පද්ධතියකින් සමන්විත නාන කාමරයක් ඉදිකර දෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 541 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රම දායකත්වය මත හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ අවශ්‍යතාවයක් සපුරාලමින් ඔහු වෙත අංගසම්පූර්ණ වැසිකිළි පද්ධතියක් සහිත නාන කාමරයක් ඉදිකර දෙනු ලැබීය.

මන්නාරම, පාප්පමොටයි, උඩයාන් - අඩම්පන්හි වෙසෙන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන ඒරම්ඹු සිවනන්ද රාසා මහතා 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේදී එක් පාදයක් අහිමිව ආබාධිත තත්ත්වයකට ලක්ව ඇත. යුද්ධ හමුදා භටපිරිස් විසින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටි ඒරම්ඹු සිවනන්ද රාසා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය පිළිබඳව 541 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ වෙත දැනුම් දෙන ලදී.

ඒරම්ඹු සිවනන්ද රාසා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සනීපාරක්‍ෂක පහසුකම් ඉතා අවම තත්ත්වයක ඇති බව යුද්ධ හමුදා භටපිරිස් වෙත නිරීක්‍ෂණය වීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ ‘සැමවිටම මානව හිතවාදීව කටයුතු කරන යුද්ධ හමුදාව’ යන ප්‍රකාශය යථාර්තයක් බවට පත් කරමිනි.

54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 541 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ විසින් ඉකුත් සඳුදා (16) දින අංග සම්පූර්ණ වැසිකිලි පද්ධතියකින් සමන්විත එම නාන කාමරය ප්‍රතිලාභියා වෙත භාරදෙනු ලැබීය.

නාන කාමරය ඉදිකිරීම සඳහා මන්නාරම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ දානපතියන් කිහිප දෙනෙකු ද අවශ්‍ය උපාංග පරිත්‍යාග කරනු ලැබීය.

එම අවස්ථාව සඳහා 541 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 10 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී සහ එම ඒකකයේ සෙසු නින් පිරිසක්ද සහභාගී වූහ.